IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


දන්නෝ බුදුන්ගේ

 

නීතිඥ ජෝන් ද සිල්වාණන්ගේ පද සංකල්පනාවෙන් ද හියුබට් රාජපක්ෂයන්ගේ සුගායනයෙන් ද විශ්වනාථ ලව්ජින්ගේ මියුරු මියැසියෙන් ද සමලංකෘත වූ මෙි ගීමිණ බුදුන්ගේ ශ්‍රීවිභූතියෙන් සුපෝෂිතය. ශතවර්ෂයකට අධික කාලයක් මෙරට රසික හදවත් මනෝරංජනය කළ "දන්නෝ බුදුන්ගේ" ගීතය ජාතික උරුමයක් ලෙස නම් කිරීමට පසුගියදා කැබිනට් මණ්ඩලය තීරණය කළේය.1903 වර්ෂයේ දී ලියැවුණු මෙි ගීතය වසර 120 ක් පමණ පැරැණිය.මෙරට චින්තන වින්දන ශක්තිය දියුණු තියුණු කිරීමට "දන්නෝ බුදුන්ගේ" ගීතය කුමන මෙහෙවරක් කර ඇති දැයි අපි බලමු.

සිංහල සුභාවිත ගීතය සුපෝෂණය කිරීමට අනභිභවනීය මෙහෙවරක් කළ නීතිඥ ජෝන් ද සිල්වාණෝ මෙරට වැඩිම ගීත සංඛ්‍යාවක් ලියූ ගේය පද රචකයාණෝය.ඔවුහු ⁣නාඩගම්,නූර්ති,වේදිකා නාට්‍ය ගීත රාශියක් ම ලියූහ."දන්නෝ බුදුන්ගේ" ගීතය හැරුණු කොට ඔහු ලියූ අඹ දඹ නාරං කෙසෙල් දෙල්,සුවඳ පද්ම,මගේ මද්‍රි නම් බිසෝ වෙි,සාන්ත ජෝන්ගේ වීදියේ කඩෙි වැනි ගීත අතිශය ජනප්‍රිය විය.ජොන් ද සිල්වා සූරිහු නූර්ති සහ නාඩගම් සම්ප්‍රදාය ඇසුරු කරමින් නාට්‍ය කිහිපයක් ම රචනා කොට නිෂ්පාදනය කළහ.මෙම නාට්‍ය අතරින් සිරිසඟබෝ,ශ්‍රී වික්‍රමරාජසිංහ,දේවානම් පියතිස්ස,දුටුගැමුණු,විහාරමහ දේවිය,රාමායණය,සකුන්තලා,රත්නමාලි,නාගානන්ද,වෙස්සන්තර ආදී නාට්‍ය ප්‍රමුඛ තන්හිලා ගිනිය හැකිය.මෙි ගීතය සිරිසඟබෝ නමැති නූර්ති ශෛලියේ නාට්‍යයෙනි.දන්නෝ බුදුන්ගේ ගීතයේ මුල්ගායනය තරමක් මතභේදාත්මකය.හියුබට් රාජපක්ෂ නමැති පුද්ගලයකු මෙහි මුල්ගායනය ඉදිරිපත් කළ බව ද ඇතැම් කලා විශාරදයෝ කියති.එහෙත් එම ගීතය බටහිර උරුවට ගයන ලද්දක් බවත් එයින් රසභංගයක් සිදුවී ඇති බවත් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයෝ තම ජීවිත කතාව අලලා ලියූ "පිං ඇති සරසවි වරමක් දෙන්නේ" නමැති කෘතියෙහි සඳහන් කරති.
 

"දන්නෝ බුදුන්ගේ " යන ගීය හියුබට් රාජපක්ෂ මහතා ගායනා කරනු ( ජීවමානව හෝ තැටියෙන් හෝ ) අසා ඇත්තේ කී දෙනකු දැයි නොදනිමි.යුරෝපයෙහි ප්‍රගුණ කරගත් කටහඬක් (ටෙිනර් වර්ගයේ ) ඇති ඔහු,එය ගයන්නේ මුළුමනින්ම බටහිර ශෛලියෙන්ය.ඒ නිසා පහාඩි රාගයෙන් නිර්මාණය කරන ලද මෙි ගීයේ ( එය මාඩ් රාගයයි සමහරු කියති ) රසයට එයින් හානියක් පැමිණ නැතැයි කිව හැකි ද?මෙි ගීතය රාජපක්ෂ මහතා කෙතරම් විකෘති කොට තිබෙිද කියතොත් දැන් එය ඇසෙන්නේ සිංහල වචනවලින් ගැයෙන යුරෝපීය ගීතයක් සේ ය, "

( පිං ඇති සරසවි වරමක් දෙන්නේ - 50 පිට )


මහැදුරු සරච්චන්ද්‍රයන්ට අනුව දන්නෝ බුදුන්ගේ ගීතය මුල් ගායකයා විසින් ම විකෘති කොට ඇත.එහෙත් මෙි ගීතයේ අනුවාද ( Version ) පසුකාලීනව කේෂත්‍රයේ ප්‍රවීණයෝ කිහිපදෙනෙක් ම ගැයුහ.රුක්මණී දේවි,ඩබ්ලිව් ඩී අමරදේව,නන්දා මාලනී ආදීහු ඒ අතර කැපී පෙනෙති.තතු මෙසේ වූව ද එයින් ගීතයේ ජනප්‍රියත්වයට කිසිදු හානියක් සිදුවී නැත.ශතවර්ෂයකට අධික කාලයක් සාහිත අඔරේ ලඹ දෙන මෙි ගීමිණ ජාතික උරුමයක් බවට පත්කිරීම මෙරට ගී ලෝලීන්ට සතුට දනවන පුවතක් නොවෙිද?

මෙි ගීතයෙන් වර්ණිත වන්නේ අනුරපුරයේ ශ්‍රී විභූතිය යි.අනුරාධපුරය යනු සිංහලයන්ගේ අභිමානවත් අපරාජිත රාජධානිය යි.එහෙත් මෙකී ශුද්ධ නගරයේ අද රජ කරන්නෝ කවරහුද? ගණිකාවෝ,දුගියෝ යාචකයෝ මංපහරන්නෝ,අපරාධකාරයෝ අද එහි යෙහෙන් වැජඹෙති.එකල අැස අස මානයේ හරිත වර්ණයෙන් බබළන ගහකොළ,ගොඩමඩ සරුසාර කෙත්වතු,වෑතල පැන් පොකුණු,තැනිතලාය.මෙනයින් පුරාණ අනුරපුරය ශ්‍රීවිභූතියෙන් විභූෂිත වූ සශ්‍රීකත්වයේ ප්‍රතිමූර්තියක් බව කීම අතිශයෝක්තියක් නොවෙි .එකල බෞද්ධ ආරාම ධනධාන්‍යවලින් පිරි ඉතිරි ගිය බව ද ඉතිහාසය දෙස් දෙයි.එහි විසු මහ නා හිමිවරු රජවරුන් අභිබවමින් වැඩ කළහ.එපමණක් නොව මෙකී ආරාමවල බැංකු පවා තිබිණි.එහෙත් අනුරපුර ශුද්ධ නගරයේ අද තත්වය එතරම් සතුටුදායක නැත.අද අනුරපුරයේ හැමතැනම රතුපස් පෑදුණු වියළි කර වූ බිම් පෙදෙස්ය.පොළොවෙි තෙත ලෙවකමින් දිනිසුරු ගිනියමට අතවනයි.

පුර වැනුමක් වූ මෙි ගීතය කාව්‍යෝක්තියකි.ජොන් ද සිල්වාණෝ මෙි ගීතය ඔස්සේ ප්‍රබල පරිකල්පන ශක්තියක් සුවිශද කරති.බුදුන් සමයේ සෘද්ධියෙන් ගුවනින් වැඩිය රහතුන් වහන්සේ විශාල පිරිසක් සිටියහ.උන්වහන්සේලා වැඩිය ගමන් මග කිසිදු බාධකයක් නොතිබිණි.මෙකී රහතුන් වහන්සේ සෙවණැල්ලෙන් සූර්ය තාපය පවා භංග වී ගියේය.බුදුන්ගේ රැස් වළල්ලෙන් අනුහසින් නුවර පුරා වැඩම කළ එකී රහතුන් පිළිබඳ රචකයා මවන විචිත්‍ර සිතුවම බොදු බැතිමතුන්ට සුඛානන්දයක්, සුඛප්‍රහර්ෂයක් නොවෙිද?

 

දන්නෝ බුදුන්ගේ ශ්‍රීධර්මස්කන්දා

පේවී රකිති සොඳ සීලේ නිබන්දා

ක‍්ලේශ නස්නා භික්ෂූ ඇත්තේය බෝ සේ

රහතුන් නිවසනා පායා ප්‍රකාශේ

 

බුදුන් සරණ ගිය බැතිමත්හු ධර්මය දන්නෝය.ඔවුහු මහත් භක්ත්‍යාදරයෙන් සිල්වත් සිතින් ⁣සුදානම් වී බොදු දහම නිති සුරකිති.නොකඩවා සිල් රකින්නෝ මෙනුවර වෙසෙති.කෙලෙස් මලින් පිරුණු ජීවිතය අතහැර ධර්මය ප්‍රගුණ කරන මෙි රහතුන් වහන්සේලාගෙන් මුළු අනුරපුරයම ආලෝකමත් වී දීප්තියෙන් බබළයි.මෙි නම් කෙතරම් රමණීය කාව්‍යෝක්තියක් ද? සන්සුන් මනසින් මෙි ගීතය අසන බැතිමතාට සාන්ත රසයක් නොදැනේද?බුදුන්ගේ ධර්මස්කන්ධය මෙපමණ යැයි කිව හැකිද?විශ්වයේ සැරිසරන පරම අමොදය බුදු දහමයි.මෙි වූකලි සියලු මිනිසුන්ගේ ජීවන විදර්ශනාවයි.විඥානවාදියාට මෙන්ම භෞතිකවාදියාටද බෞද්ධ දර්ශනය මගහැර යා නොහැකිය.එය ලොව සනාථන දහමකි.

 

භූලෝ මතේ මේ දෙව්ලෝ පෑවාසේ

පේනා මෙපුර මුනි සාසන වාසේ

සෘද්ධියෙන් යන්නාවූ නෙක් රහතුන්ගේ

සෙවණැල්ලෙනි හිරු රශ්මිය භංගේ

 

එකල කේතුමති රජදහනක් වූ අනුරපුරය මිහිපිට පහළ වුණු දෙව්ලොවක් නොවෙිද? සරුසාර කෙත්වතු, වෑතල, පැන් පොකුණු පමණක් නොව ධනධාන්‍යවලින් පිරි ගිය බෞද්ධ ආරාම එහි කොතෙකුත් තිබුණිද?මිහිපිට සුරපුරයක් බඳු අනුරාධපුරය සාසනයට සුදුසු පරිසරයකි.මෙහි සෘද්ධියෙන් යන රහතුන් වහන්සේලාගේ රැස් වළල්ලට අධික හිරු රශ්මිය පවා භංග වී විනාශ වී යයි.මෙහිදී කවියා ගොඩනගන මනස්කාන්ත දසුන් කෙතරම් රමණීයද? රූපකාර්ථවත්ද?කලාත්මක ද?මෙි ගීතය ඔස්සේ කවියා විචිත්‍රවත් පරිසරයක් නිර්මාණය කරයි.ඇතැම් අවස්ථා අභව්‍ය වූව ද එහි ඇති කලාත්මක සාර්ථකත්වය විශිෂ්ටය.

 

මානෙල් නෙළුම් හා ඕලු පුෂ්පාදී

ඇත්තේ පොකුණුවල බෝ ජල පෑදී

සේරූ පන්තී පන්තී පීනති බෝසේ

අනුරාධ නගරය දැන් පෙනේ බෝ සේ

 

මෙි පුර වැනුමෙි සෞන්දර්ය පක්ෂය පිළිබඳ කතා කිරීමෙිදී කවියා ගොඩනගන ධ්වනිතාර්ථපූර්ණ යෙදුම් ඖචිත්‍ය ගුණයෙන් පරිපූර්ණ වචන, වෙසෙස් කාව්‍යෝක්ති අමතක කළ නොහැකිය.ගීතයේ සාර්ථකත්වයට යටකී සියලු සාධක බලපා තිබෙි. නෙතට රසඳුනක් බඳු නිල් පැහැති දිය පිරුණු විල් පොකුණුවල රුවැති කුසුම් සුපුෂ්පිත වී සුළඟේ ලෙලදෙයි.මානෙල්,නෙළුම්,ඔිලු ආදී පුෂ්පයෝ සොඳුරු දසුන් මවති.මී බී මත් බිඟුලොල් නදින් මුඛරිත පරිසරය කෙතරම් සෞන්දර්යාත්මක ද?මෙි විල් ජලයේ තරගයට පිහිනමින් සිටින්නෝ කවරහුද? ⁣මෙි වනාහි සේරු නම් පක්ෂි විශේෂයකි.සේරු යනු හංසයන්ට සමාන රුවැති ජලජ පක්ෂියෙකි.මෙකී සේරු පන්ති ජල කෙළියේ නිරත වෙද්දී ඈතින් මතුවී එන්නේ කුමක්ද?අනුරාධපුරය නමැති ශුද්ධ නගරය යි.අනාදිමත් කාලයක සිට පැවත එන මෙි ගීතයට පසුබිම වන්නේ සිරිසඟබෝ නාටකය යි.කොතෙක් ඇසූවත් ඇති නොවන මෙි ගීතයේ සාර්ථකත්වයට තුඩුදුන් තවත් හේතු ගණනාවක් ඇත.මෙහි එන සංකල්ප රූප රස මංජරියත් ඒවා දවටා තිබෙන මියුරු මියැසියත් ඊට හේතුය.මෙනයින් මෙබඳු කලාත්මක සාර්ථකත්වයක් දිනු ගීමිණිරුවනක් ජාතික උරුමයක් බවට පත්කිරීම කවර නම් වරදක්ද?

 



අදහස් (0)

දන්නෝ බුදුන්ගේ

ඔබේ අදහස් එවන්න

ගී විනිස

ගඟක් සනහා මලක් පිපුණා...
2023 සැප්තැම්බර් මස 21 550 0

යොවුන් විය එළැඹෙනවාත් සමඟම හිතේ උපදින ආදරය පිළිබඳව බොහෝ දෙනා විවිධ කතා කියුවත්,මත පළකරත් ඒ ආදරය තමයි ජීවිතය ජීවත් කරවන ආදරය වන්නේ.


කොහේ හෝ ඇති ප්‍රේමයක්..
2023 සැප්තැම්බර් මස 01 651 0

මෙලොව එළිය දකින සෑම මිනිසකුම තම ජීවිතය අරඹන්නේ සොබාදහම සමඟින්.මේ විශ්වයේ අපූරු දායදයක් වන ගහකොළ,ඇළ දොළ,නිල් අහස, මහ පොළොව මේ සියල්ල සෑම මිනිසකුගේම ජීවි


ගර්දේනියා මල් සුවඳේ හිත පෙඟුණා...
2023 අගෝස්තු මස 14 580 3

සුභාවිත ගීතයේ අක්මුල් සොයා යද්දි ජනකතා,ජනප්‍රවාද,ජනශ්‍රැති,ථෙතිහාසික මූලාශ්‍ර,ඉතිහාසය මත පදනම් වූ ගීත රාශියක් හමුවෙනවා.ඒ ගීත අතරේ එදා මෙදාතුර සාහිත


එගොඩහ යන්නෝ
2023 අගෝස්තු මස 07 615 0

ඩෝල්ටන් අල්විසුන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේය පද සංහිතාවෙන් ද ශෙල්ටන් ⁣පෙරේරාගේ භාවානුරාගී හඬ මාධුර්යයෙන් සහ ස්වරසංරචනයෙන් ද සමලංකෘත වූ මෙි ගීමිණ සසර සය


ඩිංගිරාල නුඹලා වන දෙයියෝය
2023 ජුලි මස 31 630 0

වසන්ත කුමාර කොබවකයන්ගේ ව්‍යංග්‍යාර්ථපූර්ණ සුගේය පද රචනයෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ කර්ණරසායන හඬ සහ සුස්වර මාධූර්යයෙන් ද සුරංජිත මෙි සුදුර්ලභ ගීමිණ ම


කලාභූෂණ සම්මානයේ උජාරුව සසැලී......
2023 ජුලි මස 25 326 1

සංඝමිත්තා මෙහෙණින් වහන්සේගෙ ලංකාගමනයත් සමඟ පැමිණි අටළොස්කුළයක කලා ශිල්පීන් අපේ ජන සමාජය වැළඳගත්තේ ඔවුන් සතු වූ හැකියාවන් තව තවත් ප්‍රගුණ කරමින්. ඒ ආ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 217 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1533 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1427 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site