IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


සහල්-සීනි අවුල දුර-දිග යන හැඩ

රට වසා තැබීම හේතුවෙන් ආර්ථිකයට සිදුවන පාඩුවත් රට විවෘතකර තැබීමෙන් සිදුවන කොරෝනා ව්‍යාප්තියත් යන අන්ත දෙකම බේරාගනිමින් කටයුතු කරන්නට රජයට සිදුවී තිබේ. මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ඉකුත් අඟහරුවාදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ‘මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය’ වැනි තත්ත්වයකට ආණ්ඩුව වැටී සිටින බවකි.

රට වසා තැබීම නිසා ආර්ථිකයට කෝටි ගණනක පාඩුවක් සිදුව තිබෙන බවද මුදල් ඇමැතිවරයා පාර්ලිමේන්තුවට පැහැදිලි කළේය.

“මෙවර මාසයක් පමණ රට වසා තිබුණා. ආර්ථිකයකට මෙවැනි තත්ත්වයක් ඔරොත්තු දෙන්නේ නැහැ. කොරෝනාවලින් බේරෙන අතරෙම අපි ආර්ථිකය ගැනත් හිතන්න ඕනෑ” යයි ආණ්‍ඩුවේ නායකයෝ පැහැදිලිකරන්නෝය. මේ අතර විපක්ෂයේ දේශපාලනඥයන් චෝදනා කරන්නේ රට වසා තැබීම හෝ කොරෝනා පාලනය හෝ නිසිපරිදි සිදුකිරීමට ආණ්ඩුව අපොහොසත්ව ඇති බවය. රට වසා තැබුවද මිනිසුන් ඒගැන තැකීමක් නොකළ බවද ආණ්ඩුව ඊට ඉඩ ලබාදී තිබූ බවද විපක්ෂයේ දේශපාලනඥයෝ කියන්නෝය. කෙසේ වෙතත් ආණ්ඩුව විපක්ෂය හා සෞඛ්‍ය අංශ එකිනෙකට පරස්පර අදහස් පළකරමින් කටයුතුකරන බවද තවත් පිරිසක් පවසති.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඉකුත් කාලය පුරා ආණ්ඩුවත් සමග දේශපාලන ගැටුම් ඇතිකර ගත්තේය.

කොවිඩ් හේතුවෙන් නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබූ කාලයේ පවා විරෝධතා හා උද්ඝෝෂණ සංවිධානය කිරීම නිසා පොලිසිය සමඟද ගැටුම් ඇතිකර ගත් අතර අවස්ථා ගණනාවකදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරිකයෝ අත්අඩංගුවට පත්වූහ. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සඳහන් කළේ ආණ්ඩුව හිතාමතාම පොලිසිය ලවා තම පක්ෂයේ දේශපාලන ක්‍රියාකාරකම් මර්දනය කරන බවය. ‘අපිට උද්ඝෝෂණය කිරීමට අයිතියක් තිබෙනවා. දේශපාලනය කරන්න පුළුවන්. අපි පිළිගත් දේශපාලන පක්ෂයක්. ඒත් ආණ්ඩුව හිතාමතාම පෙරටුගාමී පක්ෂයේ කටයුතු මර්දනය කරනවා.’ යැයිද එම පක්ෂයේ ක්‍රියාධරයෝ පැහැදිළි කරති.

මේ අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඉකුත්දා මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් කළේය. එම පැමිණිල්ලේ සඳහන්කර තිබුණේ ආණ්ඩුව දිගින් දිගටම පක්ෂයේ ක්‍රියාකාරකම්වලට කර ඇති බාධාකිරීම් පිළිබඳවය. කරුණු ඉතා සවිස්තරව හා දිනවකවානු සහිතවද සාක්ෂිද සමග එම පක්ෂය මැතිවරණ කොමිසමට පැමිණිල්ල ඉදිරිපත් කර තිබීම විශේෂත්වයකි.

මේ අතර ඉකුත් සතියේ රැස්වූ මැතිවරණ කොමිසම පෙරටුගාමී පක්ෂයේ පැමිණිල්ල ඉතා දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්කර තිබුණේය. එහිදී කොමිසමේ සාමාජිකයන් තීන්දු කර තිබුණේ ඒ ගැන පොලිසියට කරුණු පැහැදිලි කරමින් ලිපියක් යැවීමටය. මැතිවරණ කොමිෂන් සභාවේ ලේකම්වරයාගේ අත්සනින් යුතුව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා වෙත යවා ඇති එම ලිපියේ මෙසේ සඳහන් කර තිබේ. ‘දේශපාලන පක්ෂයකට දේශපාලන කටයුතු සාමකාමීව හා ප්‍රජාතන්ත්‍රවාදීව සිදු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉඩ ලබාදී තිබේ. තම මතවාද ජනතාවට ගෙනයාම සඳහා විවිධ නීත්‍යානුකූල ක්‍රියාකාරකම් කිරීමටද ඔවුනට හැකියාව ඇති අතර ආණ්ඩුව විවේචනය කිරීමටද නීතිමය අවහිරතාවක් නොමැත. පෙරටුගාමී පක්ෂය විසින් මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කර ඇති ලිපියේ දැක්වෙන කරුණු සත්‍ය නම් එය ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් බරපතළ කාරණයක් ලෙසට මැතිවරණ කොමිෂන් සභාව සලකයි. යම් තැනැත්තකු පවතින නීතිය උල්ලංඝනය කරමින් කටයුතු කර ඇත්නම් ඒ සම්බන්ධව පවතින නීති ප්‍රතිපාදන ප්‍රකාරව ක්‍රියා කිරීමේ වගකීම පොලිසිය සතුව පවතී’ යනුවෙන්ද එහි සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් මැතිවරණ කොමිසම පොලිස්පතිවරයා වෙත යවා ඇති එම ලිපියට පොලිස්පතිවරයා හෝ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා හෝ පිළිතුරක් ලබාදී තිබුණේ නැත. ‘මැතිවරණ කොමිසමට කරුණු පැහැදිලි කිරීමට හැකියාවක් තිබෙනවා. ඒත් පොලිසියට හෝ වෙනත් ආයතනයකට හෝ නියෝග දීමට නොහැකියි. එවැනි බලයක් මැතිවරණ කොමිසමට නැතැයි’ දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

සහල් සහ සීනි තොග සඟවා තැබීම අධික මිල ගණන් නියම කිරීම ආදී කරුණු කාරණා හේතුවෙන් ඉකුත් සතියේදී පාර්ලිමේන්තුව මෙන්ම දේශපාලන වේදිකාවත් ඉතා උණුසුම් වූයේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහජන ආරක්ෂක ආඥා පනතේ පස්වන වගන්තිය ප්‍රකාරව ඉකුත්දා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයකුද පත් කළහ. අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාගේ බලතල සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලනඥයෝ පාර්ලිමේන්තුවේත් ඉන් පිටදීත් විවිධ අදහස් පළ කළශ. ‘අත්‍යවශ්‍ය කොමසාරිස් ජනරාල්වරයා දිසාපතිවරුන්ට නියෝග නිකුත් කරන බවද එවැනි බලයක් ඔහුට නැති බවද’ විපක්ෂයේ දේශපාලනඥයෝ පැවසූහ. කෙසේ වෙතත් ආණ්ඩුව ඊට ප්‍රතිචාර දැක්වීය. ‘අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යන බවට නිසැකවම වගබලා ගැනීම සඳහා පස්වන නියෝගය යටතේ පත් කරනු ලැබූ යම් නිසි බලධරයකුට අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා විසින් විධානයක් ලබාදිය හැකි අතර එසේ ලබාදෙන සෑම විධානයක්ම පිළිපැදීම අවස්ථානෝචිත පරිදි නිසි බලධරයාගේ අධිකාරියේ, නිලධරයාගේ හෝ සම්බන්ධීකරණ නිලධරයාගේ කාර්ය විය යුතුය’ යනුවෙන් ආණ්ඩුව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාගේ බලතල පිළිබඳව නිවේදනයක් නිකුත් කර තිබුණේය.

මේ අතර රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයෙන් ඉවත් වීමට නියමිත බවට ආරංචි දේශපාලන කරළියේ පැතිර යමින් තිබේ.

එම ආරංචි සඳහන් කර තිබුණේ එලෙස ඉවත්වූ පසුව කබ්රාල් නැවත මහ බැංකු අධිපති ධුරයට පත්වනු ඇති බවය. මේ අතර ඉකුත් දිනවල සමාජ මාධ්‍යයේ කබ්රාල් දැඩි විවේචනයට ලක්කර තිබුණේ ඔහු කලින් දැරූ මහ බැංකු අධිපති තනතුර වෙනුවෙන් විශ්‍රාම වැටුප් ඉල්ලා ඇති බවටය. ‘ගුරුවරුන්ගේ වැටුප් වැඩි නොකරන ආණ්ඩුව හිටපු මහ බැංකු අධිපතිවරයාට මසකට රුපියල් ලක්ෂ 19ක වැටුප් ගෙවන්න යනවා. අනෙකුත් හිටපු අධිපතිවරුන්ටත් විශ්‍රාම වැටුප් හිමි වෙනවා’ ආදී වශයෙන් අජිත් නිවාඩ් කබ්රාල් සමාජ මාධ්‍යකරුවන්ගේ දැඩි විවේචනයට ලක් වූයේය. මේ අතර ආරංචි මාර්ග සඳහන් කර තිබුණේ අජිත් නිවාඩ් කබ්රාල් සිය විශ්‍රාම වැටුප ඉල්ලා ඇත්තේ ඉකුත් 2017 වසරේදී බවය. ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහ බැංකු අධිපති ධුරය දරන සමයේදී කබ්රාල් ඔහුගෙන් එම ඉල්ලීම කර තිබුණි.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ පරීක්ෂණ සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු මැල්කම් රන්ජිත් කාදිනල්තුමා සහ ආණ්ඩුව අතර උද්ගතව පවතින මතබේදකාරී තත්ත්වයට අමතරව අගමැති මහින්ද රාජපක්ෂගේ ඉතාලි සංචාරය පිළිබඳවද මත ගැටුමක් උද්ගතව තිබේ.

මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ඉතාලි ගමනේදී වතිකානයට ගොස් පාප්වහන්සේ බැහැදැක උන්වහන්සේට පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව වැරැදි චිත්‍රයක් මවාපෑමට සහ ප්‍රහාරයේ මහ මොළකරුවන් ආරක්ෂා කිරීමට සූදානම් වන බවට මැල්කම් රංජිත් අගරදගුරුතුමා චෝදනාකරයි.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරන විදේශ ඇමැතිවරයා කියන්නේ පාප් වහන්සේ බැහැදැකීමට වේලාවක් ඉල්ලා නැති බවය. වේලාවක් ඉල්ලා ඇත්නම් වතිකානයෙන් හා කොළඹ වතිකාන නියෝජිත කාර්යාලයෙන් දැනගත හැකි බවය. එපමණක් නොව අගමැතිවරයාට වතිකානයෙන් කිසිම ආකාරයක ඇරියුමක් නොමැති බවය. කෙසේවුවද තමා යන්නේ බොලොන්න නගරයේ විශ්වවිද්‍යාලයීය සම්මන්ත්‍රණයක ප්‍රධාන දේශනයක් පැවැත්වීමට බවය. එසේම අද ඇරඹෙන චාරිකා වැඩ සටහනේ රෝම ගමනක් ගැන සඳහන් නොවන බවය.
කෙසේවුවද මේ අර්බුදයට හේතුවී ඇත්තේ පාස්කු ප්‍රහාර පරීක්‍ෂණ අගරදගුරුතුමන් ඇතුළු රදගුරු මණ්ඩලය සෑහීමකට පත්වන ආකාරයට සිදු නොවන නිසාය. රජය පරීක්ෂණ පිළිබඳව කතෝලික ප්‍රජාවට හරිහැටි දැනුවත් කරන්නේ නම් වඩාත් යෝග්‍යය.

අගමැතිවරයා විදේශ ඇමැති ජී.ඇල්. පීරිස් මහතා සමග අද ඉතාලිය බලා පිටත්ව යන්නේය.

ජාතික අවදි සභාව නමින් වන සංවිධානයේ කැඳවුම්කරු වන්නේ නිශාන්ත ශ්‍රී වර්ණසිංහය. ඔහු එම සංවිධානය හරහා ආණ්ඩුවේ කටයුතු විවේචනය කර තිබේ. ජාතික අවදි සභාව වෙනුවෙන් අදහස් ප්‍රකාශකරන නිශාන්ත ශ්‍රී වර්ණසිංහ පසුගිය දිනවල එනම් හදිසි තත්ත්වය ප්‍රකාශ කිරීමට පෙර රටේ පවතින සමාජ ආර්ථික දේහපාලනික තත්ත්වයන් හා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පැන නැගී ඇති ගැටලුකාරී තත්ත්වය සම්බන්ධව අදහස් දක්වන මතයන් ඉදිපත්කළ පුද්ගලයන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවන ආකාරය නිරීක්ෂණය කළ හැකිවිය.

එම ප්‍රකාශ සිදුකළ පුද්ගලයන් බිය ගැන්වීම හා ඔවුන් කරදරයට පීඩාවට පත්කිරීමත් පොදු සමාජය හා පුරවැසි සමාජය බියවැද්දීමත් අරමුණුකරගෙන සුක්ෂම ලෙස මනෝවිද්‍යාත්මක මෙහෙයුමක් ආණ්ඩුව සමාජය මත දියත්කර මුදාහැර තිබේ. ඒ සඳහා අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදනද අවභාවිත කර ඇතැයිද නිශාන්ත ශ්‍රී වර්ණසිංහ ජාතික අවදි සභාව වෙනුවෙන් නිල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ 75 වැනි සංවත්සරය නව තාක්ෂණය ඔස්සේ පැවැත්වුණේ ඉකුත් 5 වැනිදාය. අපේක්ෂා කළ තරමටත් වඩා වැඩි පිරිසක් එදින මාර්ගගත සමුළුවට එක්ව සිටි බව එජාප නායකයෝ පවසති. ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ඉතිහාසයේ මාර්ගගත ක්‍රමයට පක්ෂ සම්මේලනයක් පැවැත්වූ පළමු අවස්ථාව මෙය බවද එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.
සමුළුවෙන් පසුව නායක රනිල් වික්‍රමසිංහ සහ පක්ෂ ක්‍රියාකාරකයන් සූම් තාක්ෂණය එස්සේ මුණ ගැසුණේ ඉකුත් අඟහරුවාදාය. එක් කණ්ඩායමක් ලෙස පක්ෂ සංවත්සරය ඉතා ඉහළින් සැමරීමට කටයුතු කිරීම පිළිබඳව එහිදී නායකයා සියලුදෙනාට ස්තූතිය පළකළේය.

එම සමුළුවේදී අදහස් දැක්වූ පක්ෂයේ මහලේකම් රංගේ බණ්ඩාර සඳහන්කළේ මෙසේය.

‘‘සාමාජිකයන් බඳවා ගැනීමේ වැඩපිළිවෙළ වෙනුවෙන් අලුතින් බැංකු ගිණුමක් විවෘත කරන්න වෙනවා. මොකද මේක ඔන්ලයින් බඳවා ගැනීමක්. මේ සතියේ සිරිකොතට පිරිස කැඳවන්නේනැති නිසා ලබන සතියේ ඔවුන් ආවාම මේ වැඩපිළිවෙළ අවසන් කරන්න පුළුවන්.

එන්නත් ලබාදීමේ වැඩපිළිවෙළද මේ වනවිට දේශපාලනීකරණයවී ඇතැයි ඇතැම් පාර්ශ්ව චෝදනා කරයි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන්ට ෆයිසර් එන්නත ලබාදීම ගැන මුලින්ම විරෝධය දැක්වූයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය. මේ වනවිට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයද ඊට එක්ව සිටී. තරුණ තරුණියන්ට ප්‍රතිශක්තිකරණය ඉහළ අගයකින් තිබෙන නිසා ඔවුන්ට සයිනොෆාම් එන්නත ප්‍රමාණවත්. ප්‍රතිශක්තිකරණය පහළ අගයක සිටින වයස්ගත ප්‍රජාවට ෆයිසර් එන්නත ලබාදීම සුදුසුයි. සෞඛ්‍ය අංශවල නිර්දේශ නොතකා දේශපාලන තීන්දුගැනීම වැරදියි. යනුවෙන් සෞඛ්‍ය අංශවල දෝෂාරෝපණයද මේ වනවිට ආණ්ඩුවට එල්ලවී තිබේ.

මේ අතර ආණ්ඩුව එන්නත්කරණ වැඩපිළිවෙළ අඛණ්ඩව සිදුකරමින් තිබීම ගැනද එහි කාර්යක්ෂමතාව පිළිබඳවද සෞඛ්‍ය අංශවල ප්‍රසාදය හිමිවී තිබේ. ‘රජයේ අපේක්ෂාව මේ මාසය අවසන්වන විට ඉතා සැලකියයුතු පිරිසකට කොවිඩ් මර්දන එන්නත් ලබාදීමයි. ළඟදීම පාසල් සිසුන්ටත් කොවිඩ් මර්දන එන්නත් ලබාදෙනවා’යි ආණ්ඩුවේ නායකයෝ පවසති. දේශපාලන මතධාරින් ප්‍රකාශ කරන්නේ කොවිඩ් මර්දන වැඩපිළිවෙළේදී ආණ්ඩුව පූර්ණ විශ්වාසය තබා ඇත්තේ එන්නත්කරණ වැඩපිළිවෙළට බවය.

(*** කස්තුරි)

 



අදහස් (0)

සහල්-සීනි අවුල දුර-දිග යන හැඩ

ඔබේ අදහස් එවන්න

කරළියේ පෙරළි

නිමක් නැති ඩොලර් අර්බුදය
2022 ජනවාරි මස 22 4307 3

ඩොලර් අර්බුදය එන්න එන්නම දරුණු අතර හැරෙමින් පවතියි. ශ්‍රී ලංකා මහ බැංකු ආරංචිමාර්ග සඳහන් කළේ ශ්‍රී ලංකාව සතු ඩොලර් සංචිතය පහත යමින් තිබෙන බවය. සංචිතය ස


රට ගොඩගන්න අයි.එම්.එෆ් යන්න බලපෑම්
2021 දෙසැම්බර් මස 17 2840 6

පාර්ලිමේන්තුවේ කටයුතු තාවකාලිකව නතර කිරීමට හෙවත් පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමට ජනාධිපතිවරයා ඉකුත් ඉරිදා පියවර ගත්තේය. ජනාධිපති ලේකම්වරයා විසින් ඉ


අවුලෙන් අවුල් වූ පෝර ප්‍රශ්නය
2021 නොවැම්බර් මස 26 2994 0

මාතලේ දිස්ත්‍රික් ස.ජ.බ. පක්ෂයේ මන්ත්‍රිනී රෝහිණී කවිරත්න පාර්ලිමේන්තුවේ දී බඩුමිල සම්බන්ධයෙන් අදහස් දැක්වූවාය.


බඩු මිලට ජනතාව ඇවිස්සෙයි
2021 ඔක්තෝබර් මස 15 3152 4

අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්‍ඩ කීපයකම මිල ඉහළ යෑමත් රසායනික පොහොර හිඟයත් ඉකුත් දිනවල දේශපාලන කරළියේ ආන්දෝලනයක් ඇති කරන්නට සමත්විය. සහල්, සීනි, ගෑස් සහ සි


ගුරු වැටුප් සටන දුර දිග යයිද?
2021 ඔක්තෝබර් මස 08 4091 4

නැවතත් වැඩ වර්ජන රැල්ලක් ඇතිවීමේ අවදානමක් මතුවෙමින් තිබේ. රටේ ජාතික සම්පත් විකිණීමට යන බවක් කියමින් ඛනිජතෙල්, වරාය, විදුලි වෘත්තීය සමිති ගණනාවක් මේ වන


සීමා පිට ඇරෙන රට
2021 ඔක්තෝබර් මස 01 3018 1

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගණනාවක්ම වෙළෙඳපොළේ හිඟවීම හේතුවෙන් මාසයක පමණ කාලයක සිට ආණ්ඩුවට විවිධ පාර්ශ්වවලින් දොස් අසන්නට සිදු වූයේය. සහල්, කිරිපිටි, ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1444 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site