IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ඇමැති මාරුවේ හා හූව

කැබිනට් සංශෝධනය පිළිබඳව ඇමැතිවරු කීපදෙනෙක් මහත් බලාපොරොත්තු තබාගෙන සිටියහ. එහෙත් සිදුවූයේ වෙනත් එකක් නිසා ඔවුන්ගේ බලාපොරොත්තු සුන්වී ගොස් ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේය. අධ්‍යාපන අමාත්‍ය ධුරය පිළිබඳ අදහසක් මුල සිටම මහාචාර්ය ජී.එල්. පීරිස්ට තිබුණේ නැත.

ඔහුට අවශ්‍ය වූයේ සුපුරුදු විදේශ කටයුතු ඇමැතිධුරයය. එහෙත් කැබිනට් මණ්ඩලය පත්කරන පළමු අවස්ථාවේ  විදේශ කටයුතු  ධුරය දිනේෂ් ගුණවර්ධනට ලබාදීමට ජනාධිපතිවරයා කැමති වූයේය. ඒ නිසා අධ්‍යාපන හා උසස් අධ්‍යාපන යන අමාත්‍යාංශ දෙකම එකට එකතු කර වැඩි වගකීමක් සහිතව අධ්‍යාපන අමාත්‍යාංශය මහාචාර්ය ජී.එල්. පීරිස්ට ලබාදුන්නේය. කෙසේ වෙතත් ඉකුත්දා සිදුකළ කැබිනට් සංශෝධනයේදී මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ අපේක්ෂාව ඉටු වූයේය. ඔහුට හුරුපුරුදු විදේශ කටයුතු අමාත්‍යාංශය යළි ලැබුණේය. මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශය තමාට අහිමි වේ යැයි පවිත්‍රා වන්නිආරච්චි නොසිතූ බව ද අමාත්‍යාංශ මාරුව නිසා ඇය කලකිරීමකට පත්ව සිටින බවට ද දේශපාලන කටකතා පැතිර යමින් පවතී. සෞඛ්‍ය ඇමැති ධුරයට වෙනත් ඇමැතිවරයකු පත්කරන බවට ජනමාධ්‍ය වාර්තා කීපයක්ම පළවී තිබුණේ සතියකට හමාරකට පෙර සිටය. පවිත්‍රා වන්නිආරච්චිට එම ඉඟි දැනගන්නට නොලැබුණු බවක් සිතන්නට අමාරු බව දේශපාලන විචාරකයෝ පවසති. “මම දැනගෙන හිටියේ නැහැ. ජනාධිපති කාර්යාලයෙන් පණිවුඩය ලැබුණාම මම කිව්වා කැබිනට් සංශෝධනයකට ද දන්නේ නැහැ කියා.

ඩොක්ටර්ස්ලා දෙන්නම කිව්ව එහෙම වෙන්නෙ නැහැ කියා.” යැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලයට සමුදීමේ කතාවේදී හිටපු ඇමැතිවරිය කීවාය.

ජනාධිපති කාර්යාලයෙන් පණිවුඩය ලැබෙන විට ඇමැතිවරිය හිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශයේය. ඩොක්ටර්ස්ලා දෙන්නා යැයි කිව්වේ සෞඛ්‍ය ලේකම්වරයාට සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාටය. සෞඛ්‍ය ඇමැතිවරියගේ සමුදීමේ කතාවේදී කතාන්තරයක්ද ගෙනහැර පෑවාය. “පවිත්‍රා වන්නිආරච්චි ජනාධිපතිවරයාට නොකියා දොස් කිව්වා. එක අතකින් තමා බේරා ගැනීම ගැන සතුටු වන බවක් ව්‍යංගයෙන් කිව්වා. ‘ගියානම් මම තමයි බිල්ලට යන්නේ’ යැයි කිව්වේ ලොකු අර්ථයක් තියෙන කතාවක්.” යැයි දේශපාලන විචාරකයෝ  පවසති.
 
මේ අතර සමාජ මාධ්‍ය ජාලාවල ද කැබිනට් මණ්ඩල සංශෝධනය ගැන නොයෙකුත්  තොරතුරු අදහස් උදහස් පළවන්නේය. සමාජ  මාධ්‍ය ජාලා පරිහරණය කරන්නන්ගේ දැඩි විවේචනයට ලක්ව ඇත්තේ නව සෞඛය ඇමැතිවරයාය.

“කෙහෙළිය රඹුක්වැල්ල කිව්වා කොරෝනා රෝගය දෙවියන්ට බාර දෙන්න ඕනෙ කියලා. සෞඛ්‍ය අමාත්‍ය ධුරය ඔහුට දුන්නේ ඒ නිසා වෙන්න ඇති.” “තිස්තුන් කෝටියක් දෙවි දේවතාවන් අතර කිසි කෙනෙක් එම්.බී.බී.එස්. පාස්කරලා නැහැ. හොඳ පුහුණුවක් ලබපු දෙවියෙක් නැහැ. එහෙනම් කොරෝනා ගැන බලන්නේ කොහොමද?” ආදී බොහෝ  අදහස් මතවාද මේ දිනවල සමාජ මාධ්‍ය ජාලාවල පළවන්නේය.

කොරෝනා තදින් පැතිර යාම නිසා ආණ්ඩුව විවාහ මංගල උත්සව නතර කිරීමට පියවර ගත්තේය. ඒ අනුව විවාහ මංගල උත්සව ඉකුත් 17 වැනි දින සිට තහනම් කෙරිණි. එම තහනම පිළිබඳව කිසියම් කණ්ඩායමක් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළකර තිබුණේය. මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල්ගේ පුත්‍රයාගේ විවාහ මංගල්‍යය උත්සවය කොළඹ තරු පංතියේ හෝටලයක පැවැත්වෙන බවත් එම උත්සවය නිමවන තෙක් විවාහ මංගල උත්සව තහනම කල්දැමුණු බවටත් මුහුණු පොතේ අදහස් පළවී තිබිණ. පැතිර යන එම ආරංචි පිළිබඳව රාජ්‍ය ඇමැතිවරයාට දැනගන්නට ලැබුණේ සිය හිතවතුන් මාර්ගයෙනි. “මට දවසට දුරකථන ඇමතුම් ගණනාවක් එනවා යාළුවෝ හිතවතුන්ගෙන්. ඇයි අපට වෙඩින් එක කිව්වේ නැත්තේ? කවදාද ඒක තිබුණේ? ආදී වශයෙන් මගෙන් අහනවා. මට අගක් මුලක් තේරුණේ නැහැ. ෆේස්බුක් කතාව දැනගත්තේ පස්සේ. මම ඒ අයට කිව්වේ මගේ පුතාලා දෙන්නම මැරි කරලා අවුරුදු කීපයක් වෙනවා. මට ඇති වෙඩින් එකක් නැහැ.” කියලා යැයි කබ්රාල් කියන්නේය. සමාජ මාධ්‍ය ජාලාවල තමගේ නම යොදා ගනිමින් මඩ ප්‍රචාරයක් ගෙන ගිය බව ද අජිත් නිවාඩ් කබ්රාල් හිතවතුන්ට පැහැදිලි කළේය.

මේ අතර රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේගේ පුත්‍රයාගේ විවාහ මංගල්‍යය පැවැත්වීමටද ඉකුත්දා කටයුතු යොදා තිබිණ. කොළඹ තරු පහේ හෝටලයක පැවැත්වීමට සැලසුම් කර තිබූ එම උත්සවයට සියල්ල සූදානම් කර තිබුණද රාජ්‍ය ඇමැතිවරිය අවසානයේ තීන්දුවක් ගත්තාය. විවාහ උත්සවය අවලංගු කිරීම එම තීන්දුවය. “කොවිඩ් පැතිර යමින් තිබියදී මම පුතාගේ විවාහයට මිනිස්සු කැඳවන්නේ කොහොමද?” යි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ හිතමිත්‍රාදීන්ගෙන් විමසුවාය. ඒ අනුව විවාහය ආගමික චාරිත්‍රවලට පමණක් සීමා වූ අතර දේවස්ථානයට කැඳවනු ලැබුවේ ඉතා සුළු පිරිසක් පමණි. කොවිඩ් වසංගතයට ගොදුරුව හිටපු මුදල් ඇමැති මංගල සමරවීර සහ රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණතුංග මේ දිනවල රෝහල්ගතව ප්‍රතිකාර ලබති. මංගල සමරවීර කොළඹ පෞද්ගලික රෝහලක දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටින්නේය. ඔහුට තරමක් ආසාධ්‍ය බවත් ඒ සඳහා ඖෂධයක් විදේශ රටකින් ගෙන්විය යුතු බවටත් වෛද්‍යවරු නිර්දේශ කළහ. එම ඖෂධය ඉතා ඉක්මනින් ගෙන්වාදීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පියවර ගත්තේය. සජිත් ප්‍රේමදාස ඉදිරිපත් වූයේ මංගලගේ හෝ ඔහුගේ පාර්ශ්වයෙන් හෝ කරන ලද ඉල්ලීමකට නොවන බවත් කරුණු දැනගත් වහාම සජිත් ඒ සඳහා ඉදිරිපත් වූ බවත් සමගි ජන බලවේගය පක්‍ෂයේ ක්‍රියාකාරීහු පවසති. “විපක්‍ෂ නායකවරයා කළ උපකාරය ගැන ප්‍රචාරයක් දෙන්න එපාය කිව්වා. ඒත් එතුමා සද් ක්‍රියාවක් කළා. ඒ නිසා ඒ ගැන රට දැනුවත් කරන්න අවශ්‍ය යැයි කල්පනා කළා.” යැයි කියමින් සමගි ජන බලවේගය පක්‍ෂයේ ක්‍රියාකාරිකයෙක් මුහුණුපොතේ සටහනක් තැබුවේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග ඉකුත්දා පාර්ලිමේන්තුවේදී යෝජනාවක් කළේය. ඔහුගේ යෝජනාව චෝදනාවක් ද වූයේය. “අධිකරණය ලබාදෙන තීන්දු පාර්ලිමේන්තුවට ලැබෙනවා. කතානායකට ලැබෙනවා. මේවා සියල්ල ලැබෙන්නෙ ඉංග්‍රීසි භාෂාවෙන් පමණයි. ඒක පාර්ලිමේන්තුවේ මන්ත්‍රී වරප්‍රසාද කඩකිරීමක්. පාර්ලිමේන්තුවට ලැබෙන නඩු තීන්දු භාෂා තුනෙන්ම ලැබෙන්න ඕනේ.” යැයි ගෙවිඳු කුමාරතුංග කීවේය. ඔහු කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ ඒ පිළිබඳව අවශ්‍ය කටයුතු යොදන ලෙසය. ගෙවිඳුගේ යෝජනාවට විපක්‍ෂයේ නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා සහ තවත් කීප දෙනෙක් අගුල්පත් තැබූහ. “ඇතැම් තීන්දු ඉංග්‍රීසි භාෂාවෙන් ලැබෙනවා. ඒත් ආණ්ඩුව යටින් රිංගා ගොස් තීන්දුව ඒ ආකාරයටම ක්‍රියාත්මක නොකරන අවස්ථා තිබෙනවා.” යැයි නලින් බණ්ඩාර කරුණු කාරණා පැහැදිලි කළේය.

වයස අවුරුදු 30 ට වැඩි සෑම පුද්ගලයකුම අනිවාර්්‍යයෙන්ම කොවිඩ් මර්දන එන්නතක් ලබාගත යුතුයැයි රජය හා සෞඛ්‍ය බලධාරීහු නිතර නිතර කරුණු කියති.

මේ අතර රජය නිවේදනය කළේ ලබන සැප්තැම්බර් මස 15 වැනි දිනෙන් පසුව පොදු ස්ථානවලට පිවිසෙන වයස 30 ට වැඩි පුද්ගලයන් කොවිඩ් මර්දන එන්නත ලබාගත යුතු බවට වන කාඩ්පත ළඟ තබා ගත යුතු බවය. රජයේ මේ නිවේදනයට ‘සිංහල රාවය’ සංවිධානය විරෝධය දක්වන්නේය. එම සංවිධානයේ නායක අක්මීමන දයාරතන හිමියෝ ඒ පිළිබඳව ඉකුත්දා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කළහ. එන්නත් ලබාගැනීමට අනිවාර්ය කිරීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවත් එම තීරණය වැරදි බවත් ප්‍රකාශ කරමින් දයාරතන හිමියෝ එම පැමිණිල්ල ඉදිරිපත් කළහ. කොවිඩ් මර්දන එන්නත ලබාගත් පසුව කොවිඩ් වයිරසය නොවැළඳෙන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය පවා කිසිදු තහවුරුවක් කර නැතැයි ද එම නිසා එවැනි තීන්දුවක් මානව හිමිකම් උල්ලංඝනයකැයි තීන්දු කරන ලෙසත් අක්මීමන දයාරතන හිමියෝ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කළෝය.

ආණ්ඩුව බලයට පත් කිරීම සඳහා දිගින් දිගටම සහාය දැක්වූ හවුල්කාර පක්ෂ මේ දිනවල නිහඬ ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කරන බවක් පෙනෙන්නට තිබේ. ‘‘ආණ්ඩුවට අවශ්‍යම වෙලාවේ ඇතැම් හවුල්කාර පක්ෂ ආණ්ඩුවේ ගැලවුමට එන්නේ නැහැ. විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව වගේ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ වෙනදා මෙන් ආණ්ඩුව බේරාගන්න කොන්දේසි විරහිතව පෙනී ඉන්න බවක් පෙනෙන්නේ නැහැ. ඒ විතරක් නොවෙයි, ආණ්ඩුවට උදව්කරපු අනෙකුත් සුළු පක්ෂ පවා අවශ්‍යම අවස්ථාවෙ නිහඬවෙලා’’ යැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. මේ අතර ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටි දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය පමණක් ආණ්ඩුවේ සහායට ඉදිරිපත් වන බවක් පෙනෙන්නට තිබේ.

‘‘අපි එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට එරෙහිව කටයුතු කරනවා. අපේ අරමුණ එජාපය නිවැරැදි කරන්න. දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය කියන්නෙ ඒකට. මේ අවස්ථාවේ නිශ්ශබ්දව ඉන්න හෝ විපක්ෂයක් වගේ විරෝධතා දක්වන්න හෝ අපට අවශ්‍ය නැහැ. රට වෙනුවෙන් ආණ්ඩුවට සහාය දෙන්න අවශ්‍යයි. කොරෝනා තදින් පැතිර යන්නේ බලලෝභී විපක්ෂයේ ක්‍රියාකාරකම් නිසයි. ඉකුත් කාලයේ උද්ඝෝෂණ මෙහෙයවපු සමගි ජනබලවේගය, ජනතා විමුක්ති පෙරමුණ වගේම වෘත්තීය සමිතිත් මේ දෙයට වගකියන්න අවශ්‍යයි. විපක්ෂය සමඟ ගිවිසුම්ගතව සිටින වෘත්තීය සමිති හවුල රට අමු සොහොනක් බවට පත්කර රාජ්‍ය බලය ඩැහැ ගන්න හදනවා’’ යැයි දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂයේ නායක සුගත් හේවාපතිරණ සඳහන් කරන්නේය. ඔහු සිය පක්ෂයේ ක්‍රියාකාරිකයන් පිරිසක්ද සමඟ ඉකුත්දා පොලිස් මූලස්ථානයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් පැමිණිලි  කළේය. රටපුරා ජනතාව රැස්කර විරෝධතා උද්ඝෝෂණ පැවැත්වීමෙන් කොරෝනා ව්‍යාප්තිය සිදුවන හෙයින් සංවිධායකයන්ට එරෙහිව මිනීමැරුම් චෝදනා ගොනු කරන්නැයිද ඔහු එම පැමිණිලිවලින් ඉල්ලා සිටියේය. මැතිවරණ කොමිෂන් සභාව මේ දිනවල 2021 ඡන්දහිමි නාමලේඛනයේ ප්‍රතිශෝධන කටයුතුවල නිරතවන බව වාර්තාවේ. ‘‘කොරෝනා ව්‍යාප්තිය අපි බාධාවක් කරගත්තේ නැහැ.

සෞඛ්‍යාරක්ෂිතව රාජගිරිය මැතිවරණ ප්‍රධාන කාර්යාලයේ සියලු කටයුතු කරනවා. රටපුරා දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලත් කටයුතු කරනවා. මේ වනවිට 2021 ඡන්දහිමි නාමලේඛනයේ තාවකාලික ලැයිස්තුව ප්‍රදර්ශනය කර තිබෙනවා. ඡන්දදායකයකුට මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියට පිවිස තමන්ගේ ජාතික හැඳුනුම්පත් අංකය යොමු කිරීමෙන් ඡන්දහිමි නාමලේඛනයේ තමන්ගේ නම තිබේදැයි දැන ගන්න පුළුවන්.’’ යැයි මැතිවරණ කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කීවේය. තාවකාලික ලැයිස්තුවේ නම නොමැතිනම් හෝ නමේ අඩුපාඩුවක් පදිංචි ලිපිනයේ අඩුපාඩුවක් තිබේ නම් හෝ එය නිවැරැදි කර ගැනීමටත් මැතිවරණ කොමිසමේ වෙබ් අඩවිය හරහා පහසුකම්  සපයා දී තිබෙන බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. මීට අමතරව ඡන්දහිමි  නාමලේඛනයට ඇතුළත්ව ඇති නම් පිළිබඳව විරෝධතා ඇත්නම් ඒ පිළිබඳවද වෙබ් අඩවිය ඔස්සේ විරෝධතා දැක්විය හැකි යැයි ද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පසු නායක රනිල් වික්‍රමසිංහ සහ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන  ඉකුත් සෙනසුරදා සවස හමුවූහ. පක්ෂ සමුළුවට ඉදිරිපත් කොට අනුමත කිරීමට නියමිත පත්වීම් කිහිපයක් ගැන එහිදී ඔවුහු සාකච්චා කළහ. එසේම එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පක්ෂ සම්මේලනය සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට ගත් තීරණය ද නියෝජ්‍ය නායකයා එහිදී පැසසුමට ලක් කළේය. ‘‘පක්ෂ සම්මේලනය සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට ගෙන ඇති තීරණය ඉතා කාලෝචිතයි. මේ වේලාවේ එක මනුස්සයෙක්වත් එළියට ගේන්න හොඳ කාලයක් නොවෙයි’’ නියෝජ්‍ය නායකයා කීවේය.

‘‘අපි හැමදාම පක්ෂයක් ලෙස ජනතාව පැත්තෙ හිටගත්තේ. ඒ නිසා අපට මිනිස් ජීවිතවල වටිනාකම තේරෙනවා. කොහොම නමුත් පක්ෂ සම්මේලනය සූම් තාක්ෂණය ඔස්සේ පවත්වන්නේ කොහොමද කියලා සොයා බලන්න’’ නායකයා තවත් වගකීමක් රුවන්ට පැවරුවේය. ඉන් අනතුරුව දෙදෙනා කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමත කළ කරුණු 21 ක් සහිත යෝජනාවලිය ගැන ද සාකච්ඡා කළේය. එය මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත් වුවද මුහුණට මුහුණ හමුවී එය ආණ්ඩුවට බාරදීමට ඇති හැකියාව ගැන රුවන් නායකයාගේ අවධානයට ලක් කළේය.
‘‘මම නම් හිතන්නේ සර් මේක ජනාධිපතිතුමාම හමුවෙලා බාර දෙනවා නම් එතන වටිනාකමක් තිබෙනවා. රටට වගකියන පක්ෂයක් ලෙස අපිට ඍජුව අපේ අදහස ජනාධිපතිවරයාට දෙන්න පුළුවන් නම් හොඳයි. ඔහු අපේ යෝජනා ක්‍රියාත්මක කළත් නොකළත් අපි අපේ වැඩේ  කළා කියන කාරණය ජනතාව දැන ගනීවි’’ යැයි නියෝජ්‍ය නායකයා කීදේට රනිල් එකඟතාව පළ කළේය.

(*** කස්තුරි)



අදහස් (0)

ඇමැති මාරුවේ හා හූව

ඔබේ අදහස් එවන්න

කරළියේ පෙරළි

නිමක් නැති ඩොලර් අර්බුදය
2022 ජනවාරි මස 22 4307 3

ඩොලර් අර්බුදය එන්න එන්නම දරුණු අතර හැරෙමින් පවතියි. ශ්‍රී ලංකා මහ බැංකු ආරංචිමාර්ග සඳහන් කළේ ශ්‍රී ලංකාව සතු ඩොලර් සංචිතය පහත යමින් තිබෙන බවය. සංචිතය ස


රට ගොඩගන්න අයි.එම්.එෆ් යන්න බලපෑම්
2021 දෙසැම්බර් මස 17 2840 6

පාර්ලිමේන්තුවේ කටයුතු තාවකාලිකව නතර කිරීමට හෙවත් පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමට ජනාධිපතිවරයා ඉකුත් ඉරිදා පියවර ගත්තේය. ජනාධිපති ලේකම්වරයා විසින් ඉ


අවුලෙන් අවුල් වූ පෝර ප්‍රශ්නය
2021 නොවැම්බර් මස 26 2994 0

මාතලේ දිස්ත්‍රික් ස.ජ.බ. පක්ෂයේ මන්ත්‍රිනී රෝහිණී කවිරත්න පාර්ලිමේන්තුවේ දී බඩුමිල සම්බන්ධයෙන් අදහස් දැක්වූවාය.


බඩු මිලට ජනතාව ඇවිස්සෙයි
2021 ඔක්තෝබර් මස 15 3152 4

අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්‍ඩ කීපයකම මිල ඉහළ යෑමත් රසායනික පොහොර හිඟයත් ඉකුත් දිනවල දේශපාලන කරළියේ ආන්දෝලනයක් ඇති කරන්නට සමත්විය. සහල්, සීනි, ගෑස් සහ සි


ගුරු වැටුප් සටන දුර දිග යයිද?
2021 ඔක්තෝබර් මස 08 4091 4

නැවතත් වැඩ වර්ජන රැල්ලක් ඇතිවීමේ අවදානමක් මතුවෙමින් තිබේ. රටේ ජාතික සම්පත් විකිණීමට යන බවක් කියමින් ඛනිජතෙල්, වරාය, විදුලි වෘත්තීය සමිති ගණනාවක් මේ වන


සීමා පිට ඇරෙන රට
2021 ඔක්තෝබර් මස 01 3018 1

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගණනාවක්ම වෙළෙඳපොළේ හිඟවීම හේතුවෙන් මාසයක පමණ කාලයක සිට ආණ්ඩුවට විවිධ පාර්ශ්වවලින් දොස් අසන්නට සිදු වූයේය. සහල්, කිරිපිටි, ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1439 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site