IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ආණ්ඩුවේ අර්බුද

ආණ්ඩුව තුළ පැවැති අභ්‍යන්තර අර්බුද දිනෙන් දිනම වැඩිවෙමින් තිබේ. මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ආණ්‍ඩුවේ හවුල්කාර පක්ෂ නිහඬ ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කිරීමේ දේශපාලන උපාය මාර්ගයකට අවතීරණ වී ඇතැයි පැවසේ. වෙනදා ආණ්‍ඩුවේ කුදු මහත් ඕනෑම වර්ගයක ප්‍රශ්නයක් හමුවේ අදහස් පළ කළ විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දයාසිරි ජයසේකර හා වාසුදේව නානායක්කාර පවා දේශපාලන වේදිකාවේ කතා නොකරන තරම්ය. නැතිනම් ඉතා සුළු වශයෙන් කතාකරන්නට වැයම් දරන බවක් පෙනේ.

‘‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ ආණ්‍ඩුව පිහිටුවීම ආරම්භයේ සිටම දැඩි කලකිරීමකට පත්ව සිටිති. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් දෙන්න පොරොන්දු වුණා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ඇමැතිධුරයක් දෙන්න පොරොන්දු වුණා. ඒත් ඒ කිසිවක් ඉටු වුණේ නැහැ,’’ යැයි ශ්‍රීලනිප නායකයෝ පවසති.

ඉතා මෑතක දී ශ්‍රීලනිප ප්‍රධාන ලේකම් දයාසිරි ජයසේකර, බැසිල් රාජපක්ෂ විවේචනය කළේය. විහිළු නම් තබා රාජ්‍ය ඇමැතිධූර පිරිනැමීම, සුළු පක්ෂවලට කෙණහිලිකම් කිරීම ආදිය බැසිල් රාජපක්ෂගේ ඕනෑ එපාකම් මත සිදුවන බවක් දයාසිරි කීවේය. දයාසිරිගේ ප්‍රකාශයට ආණ්‍ඩුවේ පසුපෙළ මැති ඇමැතිවරු දැඩි පිළිතුරු සැපයුහ. ඉන්පසුව දයාසිරිගේ හඬඳ විරෝධතා ද දේශපාලන වේදිකාවෙන් ඇසුණේ නැත. ‘වරක් විමල් වීරවංශ කීව්වා නිහඬ බව එක්තරා හඬක්’  කියලා අන්න ඒ දෙයට මුල් ගල් තබලා කියලයි ආරංචිය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධානයක් හදන්න වැඩ ආරම්භ කරලා’ යැයි විපක්ෂයේ දේශපාලනඥයෙක් ප්‍රකාශ කළේය.

ඔහුගේ ආරංචිය සනාථ කරමින් පසුගිය දා ඒ පිළිබඳව අදහස් පළ කළේ මහාචාර්ය රෝහණ ලක්ෂ්‍මන් පියදාසය. ‘‘අපි අලුත් සන්ධානයක් ගොඩනගන්න තීන්දුවක් ගත්තා. අපි නැවත පොදුජන එක්සත් පෙරමුණ හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානය හෝ අලුතින් ගොඩනගනවා. ලංකාවේ වමේ පක්ෂවලට අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ පමණක් නොව පාර්ලිමේන්තුවෙන් පිට පක්ෂ පවා අපේ සන්ධානයට එකතුවේවි. ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව රැස්වී ඉකුත්දා ඒ පිළිබඳව තීන්දුවක් ගත්තා. ඉදිරියේ දී අපි වැඩ ආරම්භ කරනවා’ යැයි ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්‍ඨ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්‍මන් පියදාස කියයි.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ දැනටමත් එවැනි සන්ධානයක් පිළිබඳව නොනිල මට්ටමේ සාකච්ඡා කීපයක්ම පවත්වා තිබෙන බවය. ආණ්‍ඩුවත් මේ පිළිබඳව දැඩි අවධානයක් යොමුකර ඇතැයි ද වාර්තා වේ. ආණ්‍ඩුවේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණය. ආණ්‍ඩුවට හවුල් වී සිටින පක්ෂ කීපයක් තවත් දේශපාලන හවුලකට එක්රොක් වීම සුළුපටු නැතැයි ද එය ආණ්‍ඩුවට කළ සංඥාවක් විය හැකි යැයි ද දේශපාලන විචාරකයෝ අදහස් පළ කරති.

මේ අතර මෙරට පැරණිතම දේශපාලන පක්ෂ දෙකක් වන එක්සත් ජාතික පක්ෂය 75 වැනි සංවත්සරය සැමරීමට සූදානමින් පසුවන අතර ශ්‍රීලනිපයට වසර 70 කි. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ ශ්‍රීලනිපයේ හැත්තෑවැනි සංවත්සරයේ දී නව දේශපාලන සන්ධානය ගැන රටට කරුණු හෙළිදරව් කිරීමට සූදානමින් සිටින බවකි.

ආණ්‍ඩුව මුහුණ පා සිටින අනෙකුත් අර්බුද දෙක වන්නේ ජීවන වියදම් ඉහළ යෑම හා රටේ ආර්ථිකය දිනෙන් දිනම කඩා වැටීමකට ලක්වීමය. ආර්ථික අර්බුදය ඉතාම උග්‍ර අතට පත්වෙලා. රුපියල දිනෙන් දිනම අවප්‍රමාණය වෙමින් තිබෙනවා. ඒ නිසාම ආණ්‍ඩුව සියලු අංශවල වියදම් කපා හැර තිබෙනවා.

දේශපාලන පත්වීම් ලැබූ තනතුරු ලාභීන්ගේ දීමනා අඩුකර තිබෙනවා. ඇතැම් දීමනා නතර කර තිබෙනවා. ආණ්‍ඩුවේ දෙපාර්තමේන්තු ආයතනවල වියදම් බොහෝ දුරට සීමාකර තිබෙනවා’ යැයි ආණ්‍ඩුවේම දේශපාලනඥයෝ ප්‍රකාශ කරති. ආණ්‍ඩුවට මුහුණ දීමට සිදුවූ ආසන්නතම අර්බුදය වූයේ ගුරුවරුන්ගේ වැටුප් ගැටලුවය.

දිනෙන් දින සතියෙන් සතිය එම ප්‍රශ්නය ඔඩු දුවන තත්ත්වයකට පත් වූ අතර ඉකුත් කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණයක් ගත්තේ රුපියල් 5000 සිට රුපියල් 11000 දක්වා වැටුප් වැඩි කිරීමටය.

වැඩකරන ගුරුවරුන්ට මසකට රුපියල් 5000 ක් ගෙවන බවත් වැඩිකරන වැටුප කොටස්කර ලබාදෙන බවත් ආණ්‍ඩුව ප්‍රකාශ කළ ද ඊට ගුරු සංගම් නායකයෝ දැඩි විරෝධය දක්වති. ආරංචි මාර්ග සඳහන් කළේ ගුරු අරගලය ඉදිරියේ දී දුරදිග යාමේ අවදානමක් හටගෙන තිබෙන බවය. කොරෝනා අර්බුදයට මුහුණ දී බරපතළ ගැටලුවකට මුහුණදී සිටින ආණ්‍ඩුවට දැඩි ආර්ථික අමාරුකම් මැද තවදුරටත් වැටුප් වැඩි කිරීම් කළ නොහැකි බවද ඇමැතිවරු ප්‍රකාශ කරති.

පළාත් සභා මැතිවරණය කල් දමා වසර කීපයක් ගතවී තිබේ. පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පෙර ඡන්ද ක්‍රමය වෙනස් කිරීම ආණ්‍ඩුවේ අදහසයි. ඡන්ද ක්‍රමය සංශෝධනය සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එහි සභාපති දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් රැස්විණ. පළාත් පාලන ඡන්ද ක්‍රමයේ පවතින අඩුපාඩු හඳුනාගනිමින් ඊට සිදුකළ යුතු වෙනස්කම් පිළිබඳව එහිදී පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව නියෝජිතයෝ අදහස් පළ කළහ. මීට අමතරව පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යවරයා විසින් පත් කරන ලද ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාව ද එහි සමාලෝචනයට ලක් කෙරිණ. එම ත්‍රිපුද්ගල කමිටුව ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඒ.ඒ.කේ. රණවක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ, හිටපු අමාත්‍යාංශ ලේකම් රවි දිසානායක යන මහත්වරු නියෝජනය කරති.

එම කමිටු සාමාජිකයන්ට ද ඊයේ පැවැති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට ඇරයුම් කර තිබිණ.
ආණ්‍ඩුවේ මෙන් දේශපාලන පක්ෂවල ද අර්බුදවල නිමක් නැත. ඇතැම් දේශපාලන පක්ෂ දෙපිලකට බෙදී කටයුතු කරන අතර තවත් පක්ෂයකට ලේකම්වරු කීපදෙනෙක්ම පොරකති. රිෂාඩ් බදියුදීන්ගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය පසුව ‘අහිල ඉලංගයි මහජන කොංග්‍රසය’ නමින් වෙනස් කෙරිණ. එම පක්ෂයේ හිටපු ලේකම්වරයා ඉවත්කර නව ලේකම්වරයකු පත් කළ නමුත් එය නොපිළිගත් හිටපු ලේකම්වරයා නීති ක්‍රියාමාර්ග ගත්තේය. වසර කීපයක් තිස්සේ ලේකම් තනතුරේ අර්බුදය පක්ෂයේ නායක මණ්‍ඩලයට විසඳා ගත නොහැකි විය. එහෙත් ඉකුත් අඟහරුවාදා රැස්වූ මැතිවරණ කොමිෂන් සභාව රිෂාඩ්ගේ පක්ෂයේ ලේකම්ධූරය පිළිබඳ අර්බුදය විසඳා ගත්තේය. කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාවේ මාසික රැස්වීම ඉකුත් අඟහරුවාදා පැවැතියේ වීඩියෝ තාක්ෂණය ඔස්සේය. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ ලේකම්වරයා රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේ සිට ද සෙසු සාමාජිකයෝ ඔවුන්ගේ නිවෙස්වල සිටද වීඩියෝ තාක්ෂණය ඔස්සේ කොමිෂන් සභා රැස්වීමට එක්වූහ. ඔවුහු 2021 ඡන්ද හිමි නාමලේඛනය සැකසීම පිළිබඳ කටයුතු මෙන්ම පරිපාලන කරුණු කාරණා කීපයක්ම ගැන එහිදී සාකච්ඡා කළහ. මැතිවරණ කොමිෂන් සභාව මුලදී තීන්දු කර තිබුණේ පිළිගත් දේශපාලන පක්ෂ නියෝජිතයන් කැඳවා දීර්ඝ සාකච්ඡාවක් පැවැත්වීමටය. කොවිඩ් පැතිරයාම හේතුවෙන් එම සාකච්ඡාව දින නියමයක් නොමැතිව කල් දැමීමට ද මැතිවරණ කොමිෂන් සභාව එහිදී තීන්දුවකට එළඹුණේය.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස රන්ජන් රාමනායකට ජනාධිපති නිදහස ලබා දෙන්නැයි ඉල්ලමින් ජනාධිපතිවරයාට ලිපියක් ලිව්වේය. ඒ ඉකුත් අඟහරුවාදාය. මීට ඉහතදීද සජිත් ප්‍රේමදාස දුරකථනයෙන් ජනාධිපතිවරයා ඇමැතීය. ඒ රන්ජන් නිදහස් කර ගැනීම ගැන කතාකරන්නටය. ‘මම ජනාධිපතිතුමා එක්ක කතා කළා. එතුමා මට කිව්වා ලිඛිත ඉල්ලීමක් කරන්න කියලා. අවශ්‍ය ලිපි ලේඛන යොමු කළා’ යැයි සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරන්නේය. ඉන්පසුව ඔහු නැවත වරක් ජනාධිපතිවරයාට ලිපියක් යොමුකරමින් රන්ජන්ට සමාව ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

රන්ජන් රාමනායක සිරගත වූයේ ඉකුත් ජනවාරි මස 12 වැනි දිනය. ඔහු මේ වන විට දින 235 ක පමණ කාලයක් සිරදඬුවම් විඳිමින් සිටියි. ‘රන්ජන් රාමනායක මහතා අවංක චරිතයක් ඇත්තෙකු බවත් සත්‍ය වෙනුවෙන් කතාකරන චරිතයක් ලෙසත් කා අතරත් පිළිගැනීමකට ලක්ව සිටි. එතුමාගේ නිදහස සම්බන්ධයෙන් මැදිහත්වන ලෙස දේශපාලන පක්ෂ පාට භේදයකින් තොරව ආගමික නායකයන් ප්‍රවීණ කලාකරුවන් නීති විශාරදයන් ඇතුළු පිරිස් ඉල්ලා සිටිනවා’ යැයි ද සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයා වෙත යවා ඇති ලිපියේ සඳහන් කර තිබේ.

එක්සත් ජාතික පක්ෂ සම්මේලනය මෙවර අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට අඟහරුවාදා පැවැති පක්ෂ කෘත්‍යධිකාරි මණ්ඩල රැස්වීමේදී තීරණය කෙරිණ. ඒ වෙනුවෙන් වූ අත්හදාබැලීම් රැස්වීම් කීපයක් පසුගිය සතිය පුරාම පැවැත්විණ. පක්ෂ සංවිධායකවරුන්, ශාඛා සමිති නියෝජිතයන්, නාගරික මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් එම රැස්වීම්වලට සහභාගි කර ගනිමින් අත්හදා බැලීම් වැඩසටහන් ක්‍රියාත්මක කෙරිණ.

කෘත්‍යධිකාරි මණ්‍ඩල රැස්වීමද පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ නව තාක්ෂණික කමවේද උපයෝගි කරගෙනය. ලේකම් රංගේ බණ්‍ඩාර විසින් එජාප 75 වැනි රැස්වීම පැවැත්වෙන ආකාරය පිළිබඳව දීර්ඝ විස්තරයක් එජාප කෘත්‍යධිකාරි මණ්‍ඩල රැස්වීමට ඉදිරිපත් කළේය. සංවත්සරය සැප්තැම්බර් මස 6 වැනිදිනට යෙදී තිබුණද එදින සඳුදා දිනයක් බැවින් 5 වැනි ඉරිදා සම්මේලනය පැවැත්වීමට නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන යෝජනා කළේය. ‘‘රට වහලා තිබුණට බොහෝ දෙනෙක් රැකියාවලට යනවා. එහෙත් ඉරිදාට හැමෝම ගෙදර ඉන්නවා. ඒ නිසා ඉරිදා සවස 5 ට පටන්ගෙන පස්වරු 6 පමණ වනතෙක් පැයක් සම්මේලනය පවත්වමු’’ රුවන් යෝජනා කළේය. ‘‘ඔව් ඒක හොඳයි. අනික මීට කලිනුත් අපි සම්මේලනය දවසක් ඉදිරියට අරගෙන පවත්වා තිබෙනවා. ඔන්ලයින් යන නිසා කෙටියෙන් අවසන් කිරීම තමයි වැදගත් වෙන්නේ’’ යැයි නායක රනිල් යෝජනා කළේය. ඉන්පසුව සියලුම දෙනා ඊට එකඟතාව පළ කළහ. එජාප සම්මේලනයෙන් පසුව පක්ෂයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් තවත් සූම් සම්මේලන 75 ක් ඉදිරියේදී පැවැත්වීමටද එජාප කෘත්‍යධිකාරි මණ්ඩලය තීන්දුවක් ගත්තේය.

ඉකුත් සතියේ පැවැති කැබිනට් මණ්‍ඩල රැස්වීමට පෙර අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කැබිනට් මණ්‍ඩලයට විශේෂ ලිපියක් යැව්වේය. ඒ ගුරු වැටුප් විෂමතා ගැටලුව විසඳීමට පත්කර තිබූ අමාත්‍ය අනුකමිටුවේ නිර්දේශ ගැන තම ස්ථාවරය පැහැදිලි කරමිනි. අමාත්‍ය මණ්‍ඩලයේදී ඇමැති දිනේෂ් ගුණවර්ධන මුලින් කියා තිබුණේ අනුකමිටු නිර්දේශ ක්‍රියාත්මක කළ යුතු බවය.

කෙසේ වෙතත් ඇමැති දිනේෂ් ගුණවර්ධන සිය ලිපියෙන් පෙන්වා දී තිබුණේ ගුරු වැටුප් විෂමතා ඉවත්කිරීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාගැනීමට මුදල් අමාත්‍යාංශයේ එකඟතාව අවශ්‍ය බවය. එමෙන්ම මීළඟ අය වැය ලේඛනය ඉදිරිපත් කිරීමේදී අමාත්‍ය අනුකමිටුවේ නිර්දේශ ස්ථිරව ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළ ඉදිරිපත් විය යුතු බවද දිනේෂ් සිය ලිපියේ සඳහන් කර තිබුණි. අමාත්‍යාංශයෙන් අනුකමිටුවක් පත්කර මාස හයක් ඇතුළත ගුරුවැටුප් ගැටලුව විසඳිය යුතු බවද දිනේෂ් එම ලිපියේ සඳහන් කර ඇත.

 

(*** කස්තුරි)



අදහස් (1)

ආණ්ඩුවේ අර්බුද

kanishka ramanayaka Sunday, 05 September 2021 02:13 PM

දෙවැනි සේන ළිපට ගිනි මෙලෙව්වා වගේ හැමදාම පිඹ පිඹ ඉඳීවි. පාස්කුවෙන් බේරෙන්න වෙන වැඩක් සේනට නැහැ. හැමදාම රිළා නැටුම්, නයි නැටුම් බලන්න තමයි වෙන්නේ... ඔය පිඹීමෙන් ඒක පේනවා..

:       1       1

ඔබේ අදහස් එවන්න

කරළියේ පෙරළි

නිමක් නැති ඩොලර් අර්බුදය
2022 ජනවාරි මස 22 4307 3

ඩොලර් අර්බුදය එන්න එන්නම දරුණු අතර හැරෙමින් පවතියි. ශ්‍රී ලංකා මහ බැංකු ආරංචිමාර්ග සඳහන් කළේ ශ්‍රී ලංකාව සතු ඩොලර් සංචිතය පහත යමින් තිබෙන බවය. සංචිතය ස


රට ගොඩගන්න අයි.එම්.එෆ් යන්න බලපෑම්
2021 දෙසැම්බර් මස 17 2840 6

පාර්ලිමේන්තුවේ කටයුතු තාවකාලිකව නතර කිරීමට හෙවත් පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමට ජනාධිපතිවරයා ඉකුත් ඉරිදා පියවර ගත්තේය. ජනාධිපති ලේකම්වරයා විසින් ඉ


අවුලෙන් අවුල් වූ පෝර ප්‍රශ්නය
2021 නොවැම්බර් මස 26 2994 0

මාතලේ දිස්ත්‍රික් ස.ජ.බ. පක්ෂයේ මන්ත්‍රිනී රෝහිණී කවිරත්න පාර්ලිමේන්තුවේ දී බඩුමිල සම්බන්ධයෙන් අදහස් දැක්වූවාය.


බඩු මිලට ජනතාව ඇවිස්සෙයි
2021 ඔක්තෝබර් මස 15 3152 4

අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්‍ඩ කීපයකම මිල ඉහළ යෑමත් රසායනික පොහොර හිඟයත් ඉකුත් දිනවල දේශපාලන කරළියේ ආන්දෝලනයක් ඇති කරන්නට සමත්විය. සහල්, සීනි, ගෑස් සහ සි


ගුරු වැටුප් සටන දුර දිග යයිද?
2021 ඔක්තෝබර් මස 08 4091 4

නැවතත් වැඩ වර්ජන රැල්ලක් ඇතිවීමේ අවදානමක් මතුවෙමින් තිබේ. රටේ ජාතික සම්පත් විකිණීමට යන බවක් කියමින් ඛනිජතෙල්, වරාය, විදුලි වෘත්තීය සමිති ගණනාවක් මේ වන


සීමා පිට ඇරෙන රට
2021 ඔක්තෝබර් මස 01 3017 1

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගණනාවක්ම වෙළෙඳපොළේ හිඟවීම හේතුවෙන් මාසයක පමණ කාලයක සිට ආණ්ඩුවට විවිධ පාර්ශ්වවලින් දොස් අසන්නට සිදු වූයේය. සහල්, කිරිපිටි, ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 230 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1542 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site