IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


ආණ්ඩුවට විපක්ෂයෙන් දෙතුන් දෙනෙක්


ආණ්ඩුවේ ප්‍රමුඛ අවශ්‍යතාව වී ඇත්තේ විසිවැනි සංශෝධනය සම්මත කර ගැනීමය. ඒ සඳහා තුනෙන් දෙකක ඡන්ද සංඛ්‍යාවක් අවශ්‍යය. එහෙත් ආණ්ඩුවට පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් කතානායකවරයා හැරුණු කොට ඉන්නේ මන්ත්‍රීන් 149කි. මේ දිනවල ආණ්ඩුව තවත් මන්ත්‍රීවරුන් කීප දෙනකු එකතු කර ගැනීමේ රහස් සාකච්ඡා ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

‘‘අපට තව විපක්ෂයේ මන්ත්‍රීවරුන් කීප දෙනෙක් එකතුකර ගන්න වෙනවා. ඒ සඳහා මේ දිනවල කටයුතු ආරම්භ කරලයි තියෙන්නේ. විපක්ෂයේ සිට ආණ්ඩුවට ගන්න මන්ත්‍රීවරුන්ට විස්ස සම්මත වුණාම ඇමතිකම් හෝ රාජ්‍ය ඇමැතිකම් හෝ දෙන්න පුළුවන්. ඒ ගැන දැන් සාකච්ඡා පැවැත්වෙනවා’’ යැයි ආණ්ඩුවේ ඇමැතිවරයෙක් කීවේය. ඔහු තවදුරටත් සඳහන් කරන්නේ අගමැතිවරයා ඉකුත් දා පාර්ලිමේන්තුවේ දී විපක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනකු රහසිගතව හමුවී කෙටි සාකච්ඡාවක් පැවැත් වූ බවය. එම මන්ත්‍රීවරුන් දෙදෙනා අනුරාධපුරය හා පුත්තලම දිස්ත්‍රික්කයට සම්බන්ධ බව ද අවසන් තීන්දුවක් ගැනීම සඳහා බැසිල් රාජපක්ෂ මහතා හමුවෙන ලෙස එම මන්ත්‍රීවරුන් දෙදෙනාට දැනුම් දුන් බව ද ඔහු සඳහන් කළේය.

‘‘හැබැයි ආණ්ඩුව ස්ථිර වශයෙන්ම රිෂාඩ් බදියුර්දීන් හෝ රාවුෆ් හකීම් හෝ ගන්නේ නැහැ. ඒක ස්ථිරයි. ඇතැම් විට ඔවුන්ගෙ පක්ෂවල මන්ත්‍රීවරුන් ගන්න පුළුවන්.’’ යැයි ද ආණ්ඩුවේ තවත් දේශපාලනඥයෙක් ප්‍රකාශ කළේය.

මේ අතර පළාත් සභා ක්‍රමය ගැන ද විවිධ පාර්ශ්ව සාකච්ඡා කරමින් තිබේ. මේ වන විට කල් දමා තිබෙන පළාත් සභා මැතිවරණය යළි පවත්වන්නේද? එසේනම් ඒ කුමන ක්‍රමයකටදැයි යන්න ගැන ද ටික කලක සිට විවිධ මතිමතාන්තර ප්‍රකාශ වෙමින් තිබේ. මේ අතර ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කරනුයේ අගමැති මහින්ද රාජපක්ෂ ඉකුත් දා පළාත් සභා සම්බන්ධයෙන් විශේෂ මතයක් පළ කළ බවය.

අගමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ පළාත් සභා ක්‍රමය වෙනුවට අතීත රජ කාලයේ පැවැති රුහුණු, පිහිටි සහ මායා ආදී වශයෙන් බලප්‍රදේශ වෙන්කර ඡන්දය පැවැත්විය හැකිදැයි සලකා බැලිය යුතු බවය. එය තමාගේ එක් අදහසක් පමණක් බව ද පවසා ඇති අගමැතිවරයා ඒ සම්බන්ධයෙන් බොහෝ සාකච්ඡා ආදිය පවත්වා තීන්දු ගත යුතු බව ද කියා තිබේ. කෙසේ වෙතත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ දහතුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ස්ථාපිත කරන ලද පළාත් සභා ක්‍රමය අහෝසි කිරීම ලේසි පහසු කටයුත්තක් නොවන බවය. දයාසිරි ජයසේකර රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කර තිබුණේ ඒ සඳහා ඉන්දියාව සමඟත් සාකච්ඡා කළ යුතු බවකි. මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවැනි සංශෝධන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කමිටුවක් පත්කර තිබේ. එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඉකුත් අඟහරුවාදා පස්වරුවේ රැස්වී එම තීන්දුව ගත් අතර විසිවන සංශෝධනය අධ්‍යයනය කර ආණ්ඩුවට කරුණු දැක්වීම එම කමිටුවට බාර කර තිබේ.

මේ අතර ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කළේ විසිවැනි සංශෝධනය සම්මතවීමෙන් පසුව ඇමැතිවරුන් හා රාජ්‍ය ඇමැතිවරුන් පත් කිරීමේ සීමා ඉවත් වන නිසා තවත් කීප දෙනකුට ඇමැතිකම් ලබා දෙනු ඇති බවය. එස්.බී. දිසානායක, විජයදාස රාජපක්ෂ සහ ඩිලාන් පෙරේරා ඇමැතිධුර අපේක්ෂාවෙන් සිටින බව ද වාර්තා වේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වසර දෙකක පමණ කාලයක්  පමණක් අග්‍රාමාත්‍ය ධුරය දරනු ඇති බවට කතාවක් ඉකුත් දිනවල ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේය. ආණ්ඩුවේ ආරංචි මාර්ග පසුව සඳහන් කළේ සම්පූර්ණයෙන්ම එය අසත්‍ය ප්‍රවෘත්තියක් බවය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මාධ්‍යවේදීන් පිරිසක් සමග ප්‍රකාශ කර ඇත්තේ තමා ජයග්‍රහණය කළේ වසර පහක ධුර කාලයකට හෙයින් අතරමග දි තනතුර දමා යෑමේ අදහසක් නොමැති බවය.

මැතිවරණ කොමිෂන් සභාව ඉකුත් බදාදා දිනයේ අලුත් දේශපාලන පක්ෂ විස්සක් කැඳවා තිබිණ. ඒ එම පක්ෂවලට ලියාපදිංචිය ලබාදිය හැකි දැයි සලකා බැලීමටය. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති සහ සාමාජිකයන් දෙදෙනා එක්ව එම පක්ෂවල නියෝජිතයන් සම්මුඛ පරීක්ෂණයට ලක් කළේ දෙවැනි වතාවටය. ඔවුන්ගේ පක්ෂ රැස්වීම් වාර්තා සහ අනෙකුත් ලියකියවිලි ද පරීක්ෂා කළේය. මැතිවරණ කොමිසමේ අදහස වී ඇත්තේ නිලකාලය නිමවීමටට පෙර තවත් පක්ෂ කීපයකට හෝ ලියාපදිංචිය ලබා දීමය.

රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර සම්බන්ධයෙන් විරෝධය දැක්වීමේ වැඩපිළිවෙළක් දියත් කිරීමට සමගි ජන බලවේගය පක්ෂය තීන්දු කර තිබේ. ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තුවේ දිව්රුම් දෙන අවස්ථාවේ එහි මුල් පියවර අනුගමනය කළ අතර සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම පෙරදින රැස්වී ඉතා රහසිගතව කළුපටියක් බැගින් පාර්ලිමේන්තුවට රැගෙන ගියහ. ඔවුහු මන්ත්‍රීවරයා දිව්රුම් දෙන අවස්ථාවේ සාටකයක ආකාරයෙන් එම කළුපටි පැළඳ විරෝධතාවයේ නිරතව පාර්ලිමේන්තුවෙන් පිටව ගියෝය. පසුදින එනම් බදාදා සමගි ජනබලවේගයේ තලතා අතුකෝරාල මන්ත්‍රීවරිය ප්‍රේමලාල් ජයසේකරගේ පෙරදින පාර්ලිමේන්තු කතාවට පිළිතුරු දුන්නාය. මන්ත්‍රීවරිය කීවේ තමා එම නඩුව සම්බන්ධයෙන් කිසිදු බලපෑමක් සිදු නොකළ බවය. කෙසේ වෙතත් එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේ ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කිරීම ගැන දිගින් දිගටම විරෝධතා ඉදිරිපත් කිරීමට විපක්ෂය සූදානම් වී ඇති බවය.

ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් තවත් නීති ගැටලුවක් ඉදිරියේ දී මතුවිය හැකි බවට ද ඇතැම් පිරිස් නීති තර්ක මතු කරති. ඔවුන් ප්‍රකාශ කරන්නේ ප්‍රේමලාල් ජයසේකරට ඔය ආකාරයෙන් හෝ පාර්ලිමේන්තුවට පැමිණිය හැක්කේ මාස හයක් වැනි කාලයක් පණක් බවය. ‘‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මාස හයකට වඩා වැඩි කාලයක් සිරදඬුවම් විඳින පුද්ගලයකුගේ ඡන්ද අයිතිය අහිමිවන බවය. ඒ අනුව ඔහුට මන්ත්‍රී අසුන දැරීමේ හැකියාවක් නැතැයි ද ඔවුහු කියති. එහෙත් යම් හෙයකින් අභියාචනාධිකරණය වෙනස් තීන්දුවක් ප්‍රකාශ කළහොත් ප්‍රේමලාල් ජයසේකරට තිබෙන නීතිමය බාධා ඉවත්වන බවද තවත් පිරිසක් පෙන්වා දෙති. මේ අතර ප්‍රේමලාල් ජයසේකර ප්‍රකාශ කළේ තමා නිර්දෝෂි බවය. එය තමාගේ හෘදසාක්ෂිය බවද හෙතෙම කීවේය. සියල්ල විසඳිය හැක්කේ නීතියට පමණකි. ඉදිරියේ දී කුමක් සිදුවේදැයි කීමට කල් වැඩිය.

ආණ්ඩුවේ එකම නම තිබෙන දේශපාලනඥයන් දෙදෙනෙකු අතර මත ගැටුමක් නිර්මාණය වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. එම දේශපාලනඥයන් දෙදෙනා කලක් තිස්සේ ඉතා හොඳ බැඳීමකින් දේශපාලන කටයුතුවල නිරත වූ අතර මේ වනවිට දෙදෙනා අතර හොඳ හිත පලුදු වී ඇතැයි පැවසේ. එම දේශපාලනඥයන් දෙදෙනාට එකම ගොඩනැගිල්ලක කටයුතු කිරීමට තිබූ අතර මත ගැටුම නිසා දෙදෙනා දෙපළකට ගොස් කටයුතු කරමින් සිටිති.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සම්මේලනය නොවැම්බර් මස 01 වැනි දින කොළඹ දී පැවැත්වීමට කටයුතු සම්පාදනය කරමින් තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ  අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී එම සම්මේලනය පැවැත්වෙන අතර ආණ්ඩුව රටපුරා ප්‍රදේශවලින් මහ සෙනඟක්  සහභාගි කරවනු ඇතැයි ද දැනගැනීමට තිබේ. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීන්දු කර ඇත්තේ රටපුරා දිස්ත්‍රික්  සහ ආසන බල මණ්ඩල සක්‍රීය කිරීමටය. දිස්ත්‍රික් සහ ආසන බල මණ්ඩලවලට අලුතින්  තරුණ තරුණියන් ලක්ෂ ගණනින් බඳවා ගන්නැයි ද පොදුජන පෙරමුණේ ඉහළ දේශපාලනඥයන් මැති ඇමැතිවරුන්ට උපදෙස් දී තිබේ. මේ අතර රටපුරා රුක්රෝපණ  වැඩසටහන් ක්‍රියාත්මක කරන්නැයිද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  ප්‍රාදේශීය දේශපාලනඥයන්ට උපදෙස් දී තිබේ.

  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ අනුබද්ධ සංවිධානවල රැස්වීම් මාලාවක් පැවැත්වීමට ද එම පක්ෂය කටයුතු කරමින් තිබේ. එම රැස්වීම් මාලාව කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන ශාලාවේ දී පැවැත්වෙනු ඇතැයි ද දැනගන්නට ඇත.

ඇමෙරිකාව සහ  ශ්‍රී ලංකාව අතර අත්සන් කිරීමට යෝජිත එම්.සී.සී. ගිවිසුම සම්බන්ධයෙන් නැවත වරක් දේශපාලන අංශ අතරේ කතාබහක්  ඇතිවී තිබේ. ඇමෙරිකාව ශ්‍රී ලංකාවට දන්වා ඇත්තේ එම ගිවිසුම අත්සන් කිරීමට තවත් දිගුකලක් ලබාදිය නොහැකි බවකි. ඒ අනුව ආණ්ඩුවේ කොටසක් එම ගිවිසුමට සම්පූර්ණයෙන්ම විරෝධය පළ කරන අතර තවත් පිරිසක් කොළ එළියක් දල්වමින් සිටින බව ද දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙයි. එම්.සී.සී. ගිවිසුම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ගුණරුවන් කමිටු වාර්තාව මගින් එළි දක්වා ඇති කරුණු පිළිබඳව ඇමෙරිකාව එතරම් සතුටක්  දක්වා නැතැයි ද පැවසේ. ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනිය ඉකුත්දා අගමැති මහින්ද රාජපක්ෂ හමුවූ අවස්ථාවේදී  එම්.සී.සී, ගිවිසුම පිළිබඳව අදහස් හුවමාරු කරගෙන ඇතැයි ද දැන ගන්නට තිබේ.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පසුගිය අඟහරුවාදා පාර්ලිමේන්තුවේ කමිටු කාමර වලදී පැවැත්වුණේ අගමැති මහින්දගේ ප්‍රධානත්වයෙනි. එදින උදෑසන 11.30 ට පමණ ආරම්භ වූ කණ්ඩායම් රැස්වීම පැයකට ආසන්න කාලයක් පැවැතිණි. සතියේ පාර්ලිමේන්තු වැඩසටහන පිළිබඳ සාකච්ඡා කිරීමෙන් පසු මුලින්ම කථා කළේ අගමැති මහින්ද ය.

‘මේ වෙනකොට රටේ හැමතැනකින්ම වගේ ඉල්ලීම් ඇවිත් තියෙනවා ගව ඝාතනය නවත්තන්න කියලා. මේ ගැන මම හුඟදෙනෙක් එක්ක කථා කළා. ඔවුන් හැමෝම වගේ කිව්වෙ ගව ඝාතනය තහනම් කරන්න කියලයි. ඒ නිසා ගව ඝාතනය තහනම් කරන්න මම යෝජනාවක් ගේනවා.’ අගමැති මහින්ද කීවේය.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සියලු දෙනාම කීවේ එය හොඳ යෝජනාවක් බවය. සියලු දෙනා අගමැතිවරයාගේ යෝජනාව අනුමත කළේ අත්පොළසන් දෙමිනි.

අගමැති මහින්ද මෙහිදී කීවේ ඇතැම් ප්‍රදේශවල සිදුවන වන විනාශ ගැනය. ‘‘දැන් මේ වන විනාශයත් ලොකු ප්‍රශ්නයක්. වගා කරන්න කියලා කාටවත් රක්ෂිත කපන්න ඉඩ දෙන්න බෑ. සමහරු හිතාගෙන ඉන්නේ ආණ්‍ඩුව කැලෑ කපනවා කියලයි. අපි මේ ගැන දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා උපදෙස් දීලා තියෙන්නේ’’ අගමැති මහින්ද කීවේය.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු ජාතික පාසල් 1000 වැඩසටහන ගැන ද මෙහිදී කථා කළහ. එකම ජාතික පාසලක් හෝ නොමැති ප්‍රදේශ ඇති බව මෙහිදී ඇතැම් මන්ත්‍රීවරු කීහ. ඊට උත්තර දුන්නේ අධ්‍යාපන ඇමැති ජී.එල්. ය.

‘අපි දැන් ජාතික පාසල් එකක්වත් නැති ප්‍රදේශ හඳුනාගෙන තියෙනවා. ඒ නිසා ඒ ප්‍රදේශවලට ප්‍රමුඛතාව දෙනවා.’ ජී.එල්. කීවේය.
‘ජාතික පාසල් හදන එක හොඳයි. මොකද හැම කොට්ඨාසයකම හොඳ පාසලක් තියෙන්න ඕනේ. ඒ වගේ පළාත් සභාවලට අයත් පාසල් දියුණු කරන්න අපි කටයුතු කරන්න ඕනේ. සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග කීවේය.

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්ට තිබුණේ වෙනම ප්‍රශ්නයකි.

‘පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට අද ඩ්‍රයිවර් කෙනෙක් හොයාගන්න බැරි වෙලා තියෙනවා.’ ඔහු කීවේය.

‘ඒ මොකද?’ අගමැති මහින්ද ඇසුවේය.

‘ඇයි සර් අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ ඩ්‍රයිවර් කෙනෙක්ගේ වැටුප රුපියල් 32,000 යි. බස් ඩ්‍රයිවර් කෙනෙක් දවසට රුපියල් 5000 ක් හොයනවා. ඉතිං කවුරුත් එයි ද මන්ත්‍රී කෙනෙක්ගේ ඩ්‍රයිවර් වෙන්න කිව්වාම ඩ්‍රයිවර්ලා දුවනවා.’ චාමර කීවේ මන්ත්‍රීවරුන් සිනාගස්වමින්ය.

මේ අතර 20 වැනි සංශෝධනය පිළිබඳව ද මෙහිදී මන්ත්‍රීවරු අදහස් පළ කළහ. ඒ ගැන මුලින් කථා කළේ සරත් වීරසේකර හා ප්‍රේමනාත් දොළවත්තය.

‘මේ ව්‍යවස්ථා සංශෝධනයේ ඒකීයභාවය ආරක්ෂා කරන දිවුරුම නැති එක ප්‍රශ්නයක්’ වීරසේකර කීවේය.

දො​​ළවත්ත ද ඒ ගැන දීර්ඝ පැහැදිලි කිරීමක් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ වගන්ති උපුටා දක්වමිනි.

‘මේක කෙටුම්පතක්නේ. අපිට මේකේ මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා නම් ඒවා සංශෝධනය කරන්න පුළුවන්.’ අගමැති මහින්ද කීවේය.

මේ අතර මරණීය දණ්ඩනය නියම වී සිටින ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා ආණ්‍ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට ආවේය. මන්ත්‍රීවරුන් ඔහු පිළි ගත්තේ අත්පොළසන් දෙමිනි.

(*** කස්තුරි)



අදහස් (2)

ආණ්ඩුවට විපක්ෂයෙන් දෙතුන් දෙනෙක්

Kmal Koyrala Sunday, 13 September 2020 05:59 AM

පක්ෂ මාරු කිරීම තහනම් කියලා ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතුයි. පක්ෂ මාරු කළොත් ඔවුන්ව පාර්ලිමේන්තුවට යවනලද ජනතාවගේ ඡන්දය අවභාවිතා කිරීමක් නිසා එකී ඡන්දය දුන් ජනතාවට පූර්ණ අයිතිය තියෙන තමන්ගේ ඡන්දය නැවත ලබාගෙන තම පක්ෂය වෙනුවෙන් නියෝජිතයෙක් පත්කරගන්න තමයි ප්‍රදේශයට හෝ ආසනයට...

:       0       113

විජේ Wednesday, 16 September 2020 01:36 AM

ගියපාර '10%', මේපාර 20.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

කරළියේ පෙරළි

නිමක් නැති ඩොලර් අර්බුදය
2022 ජනවාරි මස 22 4486 3

ඩොලර් අර්බුදය එන්න එන්නම දරුණු අතර හැරෙමින් පවතියි. ශ්‍රී ලංකා මහ බැංකු ආරංචිමාර්ග සඳහන් කළේ ශ්‍රී ලංකාව සතු ඩොලර් සංචිතය පහත යමින් තිබෙන බවය. සංචිතය ස


රට ගොඩගන්න අයි.එම්.එෆ් යන්න බලපෑම්
2021 දෙසැම්බර් මස 17 2895 6

පාර්ලිමේන්තුවේ කටයුතු තාවකාලිකව නතර කිරීමට හෙවත් පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමට ජනාධිපතිවරයා ඉකුත් ඉරිදා පියවර ගත්තේය. ජනාධිපති ලේකම්වරයා විසින් ඉ


අවුලෙන් අවුල් වූ පෝර ප්‍රශ්නය
2021 නොවැම්බර් මස 26 3032 0

මාතලේ දිස්ත්‍රික් ස.ජ.බ. පක්ෂයේ මන්ත්‍රිනී රෝහිණී කවිරත්න පාර්ලිමේන්තුවේ දී බඩුමිල සම්බන්ධයෙන් අදහස් දැක්වූවාය.


බඩු මිලට ජනතාව ඇවිස්සෙයි
2021 ඔක්තෝබර් මස 15 3186 4

අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්‍ඩ කීපයකම මිල ඉහළ යෑමත් රසායනික පොහොර හිඟයත් ඉකුත් දිනවල දේශපාලන කරළියේ ආන්දෝලනයක් ඇති කරන්නට සමත්විය. සහල්, සීනි, ගෑස් සහ සි


ගුරු වැටුප් සටන දුර දිග යයිද?
2021 ඔක්තෝබර් මස 08 4195 4

නැවතත් වැඩ වර්ජන රැල්ලක් ඇතිවීමේ අවදානමක් මතුවෙමින් තිබේ. රටේ ජාතික සම්පත් විකිණීමට යන බවක් කියමින් ඛනිජතෙල්, වරාය, විදුලි වෘත්තීය සමිති ගණනාවක් මේ වන


සීමා පිට ඇරෙන රට
2021 ඔක්තෝබර් මස 01 3058 1

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගණනාවක්ම වෙළෙඳපොළේ හිඟවීම හේතුවෙන් මාසයක පමණ කාලයක සිට ආණ්ඩුවට විවිධ පාර්ශ්වවලින් දොස් අසන්නට සිදු වූයේය. සහල්, කිරිපිටි, ව


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 130 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1312 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 337 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site