අලුත බැඳපු මනාල ජෝඩු දෙකක මනාලියන් දෙදෙනා මාරු වීම නිසා සිදු වන අපූරු ජංජාලයක් ගැන කතාවක් රැගත් Laapataa Ladies මෑත කාලයේ නිර්මාණය වූ ඉන්දියානු චිත්‍රපට අතර බොහෝ කතාබහට බඳුන් වූ සිනමා කෘතියක්. කාන්තාවන් දෙදෙනකු කේන්ද්‍ර කරගත් මෙම සිනමාපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ ද කාන්තාවක විසින් වීම විශේෂත්වයක්. මෙහි අධ්‍යක්ෂවරිය වන කිරන් රාඕ කලෙකට පෙර ප්‍රසිද්ධියට පත්ව සිටියේ ජනප්‍රිය බොලිවුඩ් නළු ආමීර් ඛාන් ගේ බිරිඳ හැටියට යි. මේ වනවිට ඔවුන් දික්කසාද වෙලයි ඉන්නේ. එහෙත් තවමත් කිරන් සහ ආමීර් ඉතා හොඳ මිතුරන් සේ කටයුතු කරන අතර වෘත්තීය කටයුතුවලදීත්, දරුවන් සම්බන්ධ කටයුතුවලදීත් බොහොම සහයෝගයෙන් ක්‍රියා කරනවා. කිරන් රාඕ Laapataa Ladies අධ්‍යක්ෂණය කරද්දී එයට මුදල් යෙදවූ නිෂ්පාදකවරයකු ලෙස ආමීර් කටයුතු කළා.
Laapataa Ladies චිත්‍රපටය ආරම්භ වන්නේ ඉන්දියාවේ ඈත පිටිසර ප්‍රදේශයක දුම්රියකින් ගමන් කරමින් සිටින අලුත් මනාල ජෝඩු දෙකක් පිළිබඳ දර්ශන පෙළකින්. ඉන්දියාවේ ග්‍රාමීය ප්‍රදේශවල විවාහය සහ කාන්තාවන් වැනි කාරණා සම්බන්ධයෙන් ඉතා දැඩි සම්ප්‍රදායන් ක්‍රියාවට නැගෙන බව රහසක් නොවෙයි. මෙම මනාල ජෝඩු දෙකේ මනාලියන් දෙදෙනාත් එවැනි සම්ප්‍රදායන්ට යටත් කරනු ලැබූ දෙදෙනෙක්. ප්‍රසිද්ධ තැන්වල දී ඔවුන්ට මුහුණු නිරාවරණය කරගෙන සිටින්නටවත් අවසරයක් නැහැ. ඒ නිසා ඔවුන් මංගල දිනයේ සිය සැමියන්ගේ ගම් ප්‍රදේශ කරා දුම්රියෙන් ගමන් කරමින් සිටින්නේ සාරි පොටවලින් මුහුණු වසාගෙන යි.
ඔවුන් ගමන් කරන දුම්රිය මගීන්ගෙන් හොඳටම පිරිලයි තියෙන්නේ. මේ නිසා එක් ජෝඩුවකට එක ළඟ වාඩි වීමට ලැබෙන්නෙත් නැහැ. කෙසේ හෝ වේවා, දීර්ඝ ගමනකින් පසු මෙම ජෝඩු දෙක දුම්රිය ස්ථාන දෙකක දී දුම්රියෙන් බසින අතර තම මනාලියන් දෙදෙනා මාරු වී ඇති බව මනාලයන් ඇතුළු පිරිස තේරුම් ගන්නා විට ප්‍රමාද වැඩියි.
මේ එක මනාලියකගේ නම ජයා. ඇයගේ සැමියා ප්‍රදීප්. අනෙක් මනාලිය පූල්. ඇගේ සැමියා දීපක්. පූල් ගේ සැමියා වන දීපක් දුම්රියෙන් බසින තැන දී වැරදීමෙන් ජයා ගේ අතින් අල්ලාගෙන ගිහින් තමයි දුම්රියෙන් බහින්නේ. ඒ වනවිට ඔහුගේ සැබෑ මනාලිය පූල් සිටින්නේ තද නින්දේ.
දීපක්ට වැරදීමක් සිදුවුනු බව ජයා නොදන්නවා නොවෙයි. නමුත් ඇය ඔහු සමග දුම්රියෙන් බසින්නේ ඇයට ඒ වනවිට ප්‍රදීප්ගෙන් පලා යාමට වුවමනා වී ඇති නිසා යි. ප්‍රදීප් යනු දෑවැද්ද ගැන පමණක් අවධානය යොමු කරන, ප්‍රචණ්ඩ ගති පැවතුම් ඇති, සුරාසොඬ, කාන්තාලෝලී පුරුෂයෙක්.
කෙසේ හෝ වේවා, මනාලියන් දෙදෙනා මාරුවීමෙන් පසු දිග හැරෙන්නේ ඉතා රසවත් සහ කුතුහලය දනවන කතාවක්. මනාලියන් දෙදෙනාටත්, මනාලයන් දෙදෙනාටත් ඔවුන්ගේ සැබෑ සහකරුවන්, සහකාරියන් සොයා දෙන්නට පොලිසිය, නෑදෑයින් ඇතුළු විවිධ පාර්ශ්ව දරන උත්සාහය හරහා යි චිත්‍රපටය ඉදිරියට යන්නේ. නමුත් ජයා ගේ සිතේ මේ කව්රුත් නොදන්නා සැලසුමක් තියෙනවා.
කෙසේ හෝ වේවා, මනාලියන් දෙදෙනෙකු මාරු වීම පිළිබඳ මේ සිද්ධිය හරහා
ඉන්දියාවේ, විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල කාන්තාවන් පෙළන සමාජ, සංස්කෘතික පීඩනයන් ගැන අපූරු කතාවක් ගොඩනගන්නට නිර්මාණකරුවන් සමත් වෙනවා. ඉන්දියාවේ මෙම පසුගාමී සමාජය කාන්තාවන්ට සලකන්නේ මොන තරම් අසාධාරණ සහ කෲර ආකාරයෙන් ද, පීඩාකාරී ආකාරයෙන් ද යන්න ප්‍රේක්ෂකයාගේ හදවතටම දැනෙන ආකාරයෙන් හැඟීම්බර ලෙස ඉදිරිපත් කිරීමට Laapataa Ladies ට හැකි වෙනවා.
ඉන්දියාවේ පවතින මෙවැනි පීඩාකාරී, අමානුෂික, අසාධාරණ සමාජ, සංස්කෘතික ආධිපත්‍යයන් බිඳ දැමීමට ඉතා දැනුම්වත්ව වෙර දරන ජනප්‍රිය සිනමා ධාරාවක් දැන් කාලයක සිටම එරට දැකගත හැකියි. මෙම චිත්‍රපට නිර්මාණය වන්නේ සීමිත පිරිසකට පමණක් ගෝචර වන, "කලාත්මක" හෝ "සම්භාව්‍ය" යයි පිළිගැනෙන ආකෘතීන්ට අනුව නොවෙයි. ඊට වඩා පුළුල් ප්‍රේක්ෂක පිරිසක් වෙත ළඟා විය හැකි සරල, විනෝදාත්මක ආකෘතීන්ට අනුවයි. ඒ නිසා සමාජයේ වැඩි පිරිසක් තුළ බලපෑමක් ඇති කිරීමටත්, ඒ හරහා වටිනා සමාජ දේශපාලනික මෙහෙවරක් ඉටු කිරීමටත් ඒවාට හැකි වෙනවා. Laapataa Ladies ද ඉඳුරාම මෙම සිනමා ධාරාවට අයත් වන ප්‍රගතිශීලී සිනමා කෘතියක්.
ඉන්දියානු ග්‍රාමීය සමාජයට අරක්ගත් පීඩාකාරී අධිපති සම්ප්‍රදායන්ට, ආකල්ප ආදියට එරෙහිව ගසන කැරැල්ලක් බඳු Laapataa Ladies ඒ ග්‍රාමීය සමාජයේ ප්‍රේක්ෂකයන්ට රස විඳිය නොහැකි ශෛලියකින් නිර්මාණය වූවා නම් එයින් ඉටුවන සමාජ මෙහෙවර බෙහෙවින් සීමා වීමට ඉඩ තිබුණා.
මේ සිනමාපටය ඉන්දියානු ජනප්‍රිය සිනමාවේ බොහෝ අංග ඇතුළත් චිත්‍රපටයක්. එවැනි ශෛලියක් භාවිත කරමින්, පුළුල් ප්‍රේක්ෂක පිරිසක් වෙත ළඟා වෙමින් Laapataa Ladies වටිනා සමාජ මෙහෙවරක් ඉටු කරනවා.
මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ කිරන් රාඕ වුවත් මෙහි කතාව මුලින්ම හමු වී තිබුණේ ආමීර් ඛාන්ට යි. ඒ එක්තරා තිරනාටක රචනා තරගයක දී. ඊට සහභාගි වූ තරගකරුවෙක් තමයි මෙය ලියා තිබුණේ. ඔහුගේ නම බිප්ලාබ් ගෝස්වාමි. මෙම කතාව දුටු ගමන් ආමිර් ඊට වහවැටී තිබූ අතර පසුව ඔහු ඒ ගැන කිරන් සමග සාකච්ඡා කර තිබුණා. Laapataa Ladies නිර්මාණය වීමට පසුබිම සකස් වී තිබුණේ ඒ ආකාරයෙනු යි.
ආමීර් සහ කිරන් කොහොමටත් ජනප්‍රිය සිනමාව වඩාත් ප්‍රගතිශීලී සමාජ මෙහෙවරක් සඳහා යොදවන්නට නැඹුරුවක් දක්වන දෙදෙනෙක්. ඔවුන් නිෂ්පාදනය කළ දන්ගල්, තාරේ සමීන් පාර්, සීක්‍රට් සුපර්ස්ටාර් වැනි චිත්‍රපට මගේ මතකයට එන නිදසුන් කිහිපයක්.
මේ වසරේ පැවති ඔස්කාර් සම්මාන උළෙලට ඉන්දියාව ඉදිරිපත් කළ චිත්‍රපටයත් Laapataa Ladies.
අලුත බැඳපු මනාල ජෝඩු දෙකක මනාලියන් දෙදෙනා මාරු වීම නිසා සිදු වන අපූරු ජංජාලයක් ගැන කතාවක් රැගත් Laapataa Ladies මෑත කාලයේ නිර්මාණය වූ ඉන්දියානු චිත්‍රපට අතර බොහ
මා මෙම සටහන් පෙළ ලියන්නේ ලෝකයේ විවිධ රටවල චිත්‍රපට නැරඹීමෙන් මා විඳින ආස්වාදය පාඨක ඔබත් සමග බෙදා ගැනීමට යි. මෙවැනි විදේශීය චිත්‍රපට නැරඹීමට කැමැත්ත ද
අද මෙම සටහන මේ දිනවල ඉන්දියාව තුළ ලොකු ආන්දෝලනයක් ඇති කර තිබෙන චිත්‍රපටයක් ගැනයි. මේ සිනමාපටයේ නම ’’චාවා’’ (Chhaava).
ඇමෙරිකාවේ රාත්‍රි සමාජ ශාලාවක වැඩ කරන ලිංගික ශ්‍රමිකයකු සහ බිලියනපති ව්‍යාපාරිකයකුගේ තරුණ පුතකු අතර ඇති වන ලිංගික ආදර සම්බන්ධයක් තමයි මේ චිත්‍රපටයට
මලයාලම් ජනප්‍රිය සිනමාව මේ කාලයේ අපේ රටේ සිනමාලෝලීන්ගේත් ප්‍රියතම සිනමාවක් බවට පත්ව ඇති බව රහසක් නොවෙයි. අද පිච්චැර් පිස්සා ලියන්න යන්නෙත් අලුත්ම මල
නාග චෛතන්‍යා සහ සායි පල්ලවි දකුණු ඉන්දියානු සිනමාවෙ ජනප්‍රියම නළු නිළි දෙපලක් බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. මේ දෙන්නට වහ වැටුණු රසික රසිකාවියන් වි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
මනාලියන් දෙදෙනකු මාරුවීමෙන් උපන් ජංජාලයක් Laapataa Ladies