IMG-LOGO

2025 ජුනි මස 04 වන බදාදා


ජනපතිගෙන් ජනතාවට සහතිකයක්

(අංජුල මහික වීරරත්න)

ජනතාව රජයට ගෙවනු ලබන බදු මුදලින් රුපියලක් වත් දේශපාලන අධිකාරිය විසින් වංචා හෝ නාස්ති නොකරන බවට රටට සහතිකයක් ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (2)පැවසීය.

යම් දේශපාලනඥයකු හෝ රාජ්‍ය නිලධාරියකු එවන් ක්‍රියාවක නිරත වුවහොත් තරාතිරම නොබලා උපරිම දඬුවම් ලබා දීමට මැදිහත් වන බව පැවසූ ජනාධිපතිවරයා ජනතාව ගෙවන බදු මුදලට සාධාරණය ඉටු කරන බව අවධාරණය කළේය.

ජනතා බදු මුදල් සූරා කෑ  කළු යාන්ත්‍රණය සම්පූර්ණයෙන් බිඳ දැමීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

ජනාධිපති අනුර කුමාර දසානායක මහතා මේ බව කීවේ ජනාධිපති කාර්යාලයේ පැවති “බදු ශක්ති” බදු අනුකූලතාවය සහ බදු පදනම ඉහල නැංවීමේ ජාතික වැඩසටහනෙහි සමාරම්භක අවස්ථාව අමතමිනි. 

“ඔබේ බදු මුදල් ඔබ වෙනුවෙන්”තේමාව යටතේ “බදු ශක්ති - ජාතික බදු සතිය” ආරම්භ කිරීමද මිට සමගාමීව සිදු විය.

වත්මන් රජය විසින් බාර ගනු ලැබුවේ නතර වූ රටක් බව කී ජනාධිපතිවරයා  එම රට යළි පණ ගැන්වීම උදෙසා බදු යාන්ත්‍රණය විධිමත් කළ යුතුව ඇති බව පෙන්වා දුන්නේය.

 රටක් ලෙස ලංකාව පරිවාසයට ලක් වී ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එළැඹ ඇති විස්තීර්ණ ණය ගිවිසුම මෙරට ඒ ආකාරයේ අවසන් වැඩසටහන බවට පත් කර ගනිමින් ස්වෛරී ආර්ථිකයක් ගොඩනැගීමට එක් වන ලෙසද සියලු ජනතාවට ආරාධනා කළේය.

ජනතාව තුළ බදු ගෙවීමට ඇති අසුබවාදී ආකල්පය සුබවාදී ආකල්පයක් බවට පරිවර්තනය කිරීමත්, විනිවිදභාවය සහ වගවීමෙන් යුතු නව බදු සංස්කෘතියක් ඇති කිරීමත් අරමුණු කර ගනිමින් බදු ශක්ති ජාතික බදු සතිය ක්‍රියාත්මක කෙරේ.

අද (2) සිට එළැඹෙන 7 වැනි දා දක්වා වූ සතියේ  හඳුන්වාදෙන නව බදු ගෙවීමේ වේදිකා සම්බන්ධයෙන් සහ බදු මුදල් රටේ සංවර්ධනයට දායක වන අන්දම මෙන්ම ජනතාවට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

2024 තක්සේරු වර්ෂයේ පුද්ගල ආදායම් බදු වාර්තාව භාර දීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මාර්ගගත වේදිකාව විවෘත කිරීමද මෙහිදී සිදු වූ  අතර 2024/25 තක්සේරු වර්ෂයේ ලබා දෙන පළමු බදු වාර්තාව ලෙස ජනාධිපතිවරයා විසින් සිය පුද්ගලික ආදායම් බදු වාර්තාව අන්තර්ජාලය වෙත එක් කිරීම සිදු විය.

එමෙන්ම, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ ASYHUB පද්ධතිය දියත් කිරීමද මෙහිදී සිදු කෙරිණි. ජර්මන් රජය සහ UNCTAD ආයතනයේ සහයෝගයෙන් නවීකරණය කරන ලද මෙම පද්ධතිය මගින්  ආනයනකරුවන්ට භාණ්ඩ මෙරටට ළගා වීමට පෙර බදු කටයුතු කර ගැනීමේ අවස්ථාව උදාවන අතර ඒ තුළින් සහ රේගුව ක්‍රියාත්මක කරනු ලබන අවදානම් කළමනාකරණ මෘදුකාංගය තුළින් අවදානම් රහිත බහළුම සෘජුවම නැවෙන් බෑමෙන් පසු අදාළ ආනයනකරුවන්ගේ ගබඩා තෙක් රැගෙන යාමට පහසුකම් සැලසේ. 

මේ අතර නීත්‍යනුකූල නිෂ්පාදිත මත්පැන් බෝතල් ආරක්ෂිත සලකුණු පද්ධතිය හරහා හඳුනා ගැනීම සඳහා වන ජංගම යෙදුම සුරාබදු නිලධාරීන් වෙත හඳුන්වා දීමද මෙම අවස්ථාවේදී සිදු කෙරිණි.

මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවසීය.

අපේ රටේ බදු පිළිබඳ තිබෙන ආකල්පය සුබවාදී නැහැ. බදු නාස්ති වන බවටත්, බදු මඟහරින බවටත්, බදු ගෙවීමේ ව්‍යාකූලත්වයක් පිළිබඳවත් සංවාදයක් තිබෙනවා. ඒ වගේම බදු මඟහැරීම සඳහා වූ උපදෙස් ලබා දීමට ආයතන ගොඩනැඟී තිබෙනවා. මේ සියල්ල ඇති වී තිබෙන්නේ අපේ රටේ බදු එකතු කිරීම සඳහා පවතින පරිපාලන යාන්ත්‍රණයත්, බදුවලට සිදු වූ විනාශයන් පිළිබඳ තිබෙන සමාජ අවබෝධයත් නිසයි. එම නිසා බදු ගෙවීම සහ ඒ සඳහා වන යාන්ත්‍රණය සහ පොදු ජනතාව තුළ තිබෙන ආකල්පය පිළිබඳ පුළුල් සාකච්ඡාවක් කළ යුතුව තිබෙනවා.

අප සතුව තිබෙන ඇතැම් දත්ත දෙස බැලූ විට එය සුබවාදී තත්ත්වයක් නොවෙයි. අපේ සමාගම් ලියාපදිංචි කර තිබෙන අයගෙන් වාර්තා ලබා දී තිබෙන්නේ 43%යි. ඒ වගේම 2023-2024 වසරවල පුද්ගල ආදයම් බදුවලින් වාර්තා ලබා දී තිබෙන්නේ 23%යි. හවුල් ව්‍යාපාර වාර්තා ලබා දී තිබෙන්නේ 46%යි. ඒ වගේම PAYE  Tax ගෙවන අයගේ වාර්තා ලබා දී තිබෙන්නේ 18%යි. මේ කිසිදු දත්තයක් 50% ඉක්මවා යන්නේ නැහැ. එයින් පෙන්නුම් කරන්නේ බදු ගෙවීමේ මැලිකමක් සහ බදු මඟහැරීම සඳහා තිබෙන ප්‍රයත්නයයි. 

මෙයට හේතු වී තිබෙන්නේ පැවති දේශපාලන අධිකාරිය විසින් අපේ රටේ බදු මුදල් පරිහරණය කළ ආකාරය පිළිබඳව බදු ගෙවන්නන් සහ පොදු ජනතාව තුළ තිබෙන විවේචනයයි. ඒ නිසා පළමුව කළ යුතු වන්නේ ජනතාවගේ බදු මුදල් නිසි පරිදි අත්‍යවශ්‍ය දේ සඳහා යොදවන බවට වන සහතිකය ජනතාවට ලබා දීමයි. එය මටත්, අපේ දේශපාලන අධිකාරියටත් පැවරී තිබෙනවා. ඔබ ගෙවන කිසිදු බදු මුදලකින් රුපියලක්වත් දේශපාලන අධිකාරිය විසින් වංචා නොකරන බවටත්, නාස්ති නොකරන බවටත් වන සහතිකය මම ඔබට ලබා දෙනවා.

ජනාධිපතිවරයා ලෙස මට මේ රටේ මහ ජනතාවගේ බදු මුදල් වලින්, අණ පනත් වලින් යම් වරප්‍රසාද ලබා දි තිබෙනවා, ගැසට් නිවේදනවලින් යම් වරප්‍රසාද ලබා දී තිබෙනවා. අමාත්‍ය මණ්ඩල තීරණ විසින් විශාල වරප්‍රසාද ලබා දී තිබෙනවා. එහෙත් අපි එම වරප්‍රසාද විශාල ප්‍රමාණයක් අතහැර තිබෙනවා. 

මහජනයාගේ සෑම රුපියලක්ම අර පරිස්සම් කර ගැනීම සඳහා ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය කප්පාදු කළ හැකි හැම ප්‍රමාණයකින්ම මා විසින් කප්පාදු කර තිබෙනවා. අපේ කැබිනට් මණ්ඩලය සහ මන්ත්‍රීවරුත් එහෙමයි. ඒ නිසා අපි තිර අධිෂ්ඨානයකින් වැඩ කරනවා. පළමු ආදර්ශය එතැනින් ලබා දෙනවා. 

ඒ වගේම අපි කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ගොඩනැඟිය යුතුයි. රාජ්‍ය යාන්ත්‍රණය සහ පුරවැසියා අතර තිබෙන සම්බන්ධය ඉතා වේගවත් කාර්යක්ෂම ඩිජිටල් පද්ධතියක් කරා ගෙන යාමට අපි විශාල වෙහෙසක් දරනවා. ඒ වගේම රාජ්‍ය යාන්ත්‍රණය පුරා පැතිරි තිබෙන වංචා දුෂණ වැළැක්විය යුතුයි.

 ඔබ දන්නවා ගමන් බලපත්‍රයක් සකස් කර ගැනීමේදී ආගමන හා විගමන දෙපාර්තමේන්තුට තමන්ගේ ඡායාරූපයක් සහ තමන්ම ගොස් ඇගිලි සලකුණු ලබා දිය යුතුයි. එහෙත් පාතාල කණ්ඩායම් නායකයන්ට ඇගිලි සලකුණු වර්ග තුනකට, ඡායාරූප වර්ග කිහිපයකට ගුවන් ගමන් බලපත්‍ර ලබා දී තිබෙනවා. අපේ නීතිමය රාමුව ආරක්ෂා කර ගැනීමට තිබෙන ආයතන විසින්ම එම රාමුව බිඳ දමා තිබෙනවා.

ඒ වගේම, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරියකුගේ ලොකර් එකේ තිබි ඔහුට වසර තුනකින්වත් ඉපැයිය නොහැකි මුදලක් ලැබෙනවා. කස්ටම් එක ගැන විශාල චෝදනා තිබෙනවා. සුරාබදු දෙපාර්තමේන්තුවේත් එම තත්ත්වය තිබෙනවා. 

ඒ නිසා අපේ රටේ මතුපිටට පෙනෙන සාමකාමී තත්ත්වයක් තිබෙනවා වගේම යටින් කළු පද්ධතියක් ක්‍රියාත්මක වෙනවා. මේ කළු පද්ධතියේ ජාවාරම්කාර ව්‍යාපාර කණ්ඩායමක් සිටිනවා. 
මෑතකදී රේගුවේ බහාලුම් පද්ධතියක් විවෘත කිරීමේදී ඉතා ප්‍රසිද්ධ සන්නාම සහිත සමාගම් විසින් නීතිවිරෝධි ලෙස ආනයනය කළ භාණ්ඩ හමු වෙනවා. එම නිසා මෙම කළු යාන්ත්‍රණයේ ජාවාරම්කාර අතළොස්සක් සිටිනවා. මේ කළු යාන්ත්‍රණයේ දේශපාලන අධිකාරිය තිබුණා. මේ කළු යාන්ත්‍රණය තුළ රාජ්‍ය නිලධාරින් මෙන්ම නීති විරෝධි සන්නද්ධ අවි ගත් අය වගේම මාධ්‍යද සිටිනවා. 

අපි ඉදිරිපිට ඉතා සංවිධානාත්මක ලෙස කළු යාන්ත්‍රණයක් තිබෙනවා. මෙම කළු යාන්ත්‍රණය බිඳින බවට මම මේ රටේ ජනතාවට සහතික වෙනවා. හැම කෙනාම නීතියට යටත් වන පරිසරයක් නිර්මාණය කරනවා. ධනය කෙතරම් රැස් කර ගත්තත් වැඩක් තිබෙනවාද අවුරුදු 61දී අවුරුදු 20ක් සිරගත වීමට සිදු වෙනවා නම්? මහජනතාවගේ බදු මුදලින් ඉගෙන ගෙන මහජනතාවගේ මුදලින් වැටුප් ලබා ගනිමින් මහජනතාවගේ සල්ලි හොරකම් කරන්න පුළුවන්ද? ඒ හැම දේටම දඩුවම් ලබා දෙනවා. ඒ නිසා බදු මුදල් පිළිබද ප්‍රශ්නය හුදු බදු ගෙවීම සහ බදු මුදල් එකතු කිරීම අතර තිබෙන ප්‍රශ්නයක් නොවෙයි. 

කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ,ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහත්වරුඇතුළු රාජ්‍ය නිලධාරීහු, තානාපතිවරු හා පෞද්ගලික අංශයේ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (2)

ජනපතිගෙන් ජනතාවට සහතිකයක්

fairoosmr Monday, 02 June 2025 05:25 PM

ජයවේවා ජනාධිපති තුමා ඇතුළු රජයට...

:       8       16

අන්දොස් Monday, 02 June 2025 06:52 PM

කිසිවක් ප්‍රකාශ කළ නොහැක. අදටත් විසිල් මිස බල්ටි නැත.

:       9       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 220 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 385 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 638 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site