
ඇමෙරිකාවේ ජෝර්ජියා ජනපදයේ, බරෝ ප්‍රාන්තයේ, වින්ඩර් නගරයේ පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 4 දෙනෙක් ජීවිතක්ෂය පත්වූහ. තවත් 9 දෙනකු වෙඩි වැදී තුවාල ලබා කඩිනමින් රෝහල් ගත කෙරුණි.
වෙඩි තැබීම සිදු කළේ පාසලේ ඉගෙනුම ලබන 14 හැවිරිදි සිසුවකු යැයි ප්‍රාන්ත පොලිසිය පවසයි. වෙඩි තැබීම සිදුවූයේ ‘ඇපලාචී’ නමැති ද්විතීක පාසලේය. මියගිය සිවු දෙනාගෙන් දෙදෙනකු ගුරුවරුන් බවත් ඉතිරි දෙදෙනා සිසුන් බවත් පැවැසෙයි.
වෙඩි තැබීම සිදුවූයේ පාසල් වේලාවේදීය. එම අවස්ථාවේ සිසුහු 1,900 ක් පාසලේ ඉගෙනුම ලබමින් සිටියහ.
වෙඩි තැබීම කළේ කෝල්ට් ග්‍රේ නමැති සිසුවා යැයි පොලිසිය මාධ්‍ය හමුවේ අනාවරණය කර තිබේ. වෙඩි තැබීම කළ සැණින්, පොලිසියට යටත් වන බව කෝල්ට් ග්‍රේ පවසා ඇත. ඒ අනුව, පාසලේ ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ ද සහාය ඇතිව පොලිස් නිලධාරීන්, පාසල් පරිශ්‍රයේදීම කෝල්ට් ග්‍රේ අත්අඩංගුවට ගත් බව පැවැසෙයි.
කෝල්ට් ග්‍රේ, වැඩිහිටියකු සේ සලකා, ඔහුට එරෙහිව චෝදනා ගොනු කිරීමට බලාපොරොත්තු වන බව පොලිසිය පවසා ඇත. ප්‍රාන්ත පොලිස්පති ජූඩ් ස්මිත්, සිද්ධිය ගැන කම්පා වෙමින් පවසා ඇත්තේ වෙඩි තැබීමට හේතුව තවමත් හරිහැටි පැහැදිලි නොවුණත්, එය නපුරේ උච්ඡතම අවස්ථාවක් යැයි තමන්ට අර්ථ නිරූපණය කළ හැකි බවය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් මෙන්ම, හිටපු ජනාධිපතිවරයකු මෙන්ම එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්වීමට නියමිත ඇමෙරිකන් ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් ජනපතිධුර අපේක්ෂකයා ද වන ඩොනල්ඩ් ට්‍රම්ප් ද මෙම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කනස්සල්ල පළ කර තිබේ.
පසුගිය වසරේ, එනම් 2023 දී, ඇමෙරිකන් එෆ්.බී.අයි. හෙවත් ඇමෙරිකන් ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ පරීක්ෂකයන්, කෝල්ට් ග්‍රේ හමු වී ඔහුගෙන් ප්‍රශ්න කර ඇතැයි ද ඇමෙරිකන් මාධ්‍ය අනාවරණය කර ඇත. ඒ, කෝල්ට් ග්‍රේ, පාසලේ වෙඩි තැබීමක් සිදු කිරීමට සූදානම් වෙනවා යැයි ලැබුණු තොරතුරුවලට අනුවය. කෙසේ නමුත් එම අවස්ථාවේදී එෆ්.බී.අයි. පරීක්ෂකයන් කෝල්ට් ග්‍රේ අත්අඩංගුවට ගත්තේ නැතැයි ද පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ සමූල ඝාතන වැඩිම රට ඇමරිකාවයි. පාසල්වල සහ විශ්ව විද්‍යාල වල අවුරුදු පතා මෙම සමූළ ඝාතන සිදුවේ. මිනිසුන් බහුල ලෙස ගැවසෙන වෙළද සංකීර්න තුලද සමූළ ඝාතන සිදුවේ. ජීවත්වීමට භයානක රටකි.
මේක ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවේද?