(ඩයනා උදයංගනී)

ගෑස් සිලින්ඩරයක් මිලදී ගත් පසු එය නිවස තුළට ගැනීමට පෙර කාන්දුවක් සිදුවන්නේ දැයි පරීක්‍ෂා කර බැලීම සුදුසු බව ස්වභාවික වායු සහ ඛනිජ තෙල් ගවේෂන ඉංජිනේරු නිමල් ද සිල්වා මහතා පවසයි.

සිලින්ඩරයෙන්ම ගෑස් කාන්දු සිදුවන්නේ නම් වරද ඇත්තේ වෑල්වයේ බවත්, වෑල්වයෙන් ගෑස් කාන්දුවීමය හේතුව සිලින්ඩරයේ අභ්‍යන්තර පීඩනය බවත් කී ඉංජිනේරුවරයා පීඩනය වෙනස් වන්නේ සංයුතිය වෙනස් වුවහොත් පමණක් යැයි ද සඳහන් කළේය.

ගෑස් සිලින්ඩරයේ වෑල්වය මතට සබන් පෙන ස්වල්පයක් යෙදීමෙන් කාන්දුවක් වන්නේ ද යන්න නිරීක්‍ෂණය කළ හැකි බව කී නිමල් ද සිල්වා මහතා, රෙගියුලේටරය කලකින් මාරු කර නැත්නම් මාරු කරගැනීම මෙන්ම නිසි ප්‍රමිතියකින් යුත් රෙගියුලේටරයක් යෙදීමත්, ගෑස් සිලින්ඩරය සම්බන්ධ කරන නලය හොඳින් පරීක්‍ෂා කර භාවිතා කිරීමත් වැදගත් බව සඳහන් කළේය.

මෙම කරුණු නොසලකා හැරියොත් ජීවිත හානියක් පවා විය හැකි බව හෙතෙම කීවේය.

මෑත කාලයේදී දිගින් දිගටම සිදුවූ ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මෙසේ ද පැවසීය.

“ගෑස් සිලින්ඩරය බොහෝ ශක්තිමත්. නමුත් සිලින්ඩරයට සවිකර ඇති වෑල්වය හා ඉහළින් ඇති රෙගියුලේටරය කුමන ආකාරයෙන් සකස් වී ඇත්දැයි යන්න පරීක්‍ෂා කර බැලිය යුතුයි. වෑල්වය සැලසුම් කර ඇත්තේ ප්‍රොපේන් සියයට 30ක් සහ බියුටේන් සියයට 70 යන සංයුතියට ගැළපෙන ආකාරයට නම් ප්‍රොපේන් සියයට 30ට වැඩියෙන් අන්තර්ගත වුණොත් වෑල්වයට ඔරොත්තු නොදෙන්න පුළුවන්. බියුටේන්වලින් ලැබෙන්නේ සාමාන්‍යයෙන් අඩු පීඩනයක් ප්‍රොපේන්වලින් ලැබෙන පීඩනය එමෙන් සිවුගුණයක් වෙනවා. ඒ පීඩනයට වෑල්වය ඔරොත්තු දෙනවාද යන්න බැලිය යුතුයි.

රෙගියුලේටරය සම්බන්ධයෙන් ප්‍රමිතියක් ඇති බව කීවත් ඒවා ක්‍රියාත්මක වෙනවාද යන්න බැලිය යුතුයි. මෑතක සිට මහජනතාව සිලින්ඩරයෙන්ම ගෑස් කාන්දුවීම් සිදුවන බව වීඩියෝ කර සමාජ මාධ්‍ය ආදියේ පළ කරනවා. එතැන වරද තිබෙන්නේ වෑල්වයේයි. වෑල්වයෙන් ගෑස් කාන්දු වෙනවා නම් ගැටලුව තිබෙන්නේ පීඩනයේයි. පීඩනය වෙන්නේ සංයුතිය වෙනස් වුණොත් විතරයි.

පාරිභෝගිකයාට මේ ගැන සැකයක් තිබෙනවා නම් ගෑස් සිලින්ඩරය ගෙනා විට එහි සබන් පෙන ටිකක් ගා පරීක්‍ෂා කළ හැකියි. කාන්දුවක් තිබෙනවා නම් නිවස තුළට නොගෙන ලබා ගත් තැනටම භාරදෙන්න. නැතිනම් ගෑස් සමාගමට හෝ පාරිභෝගික අධිකාරියට දැනුම් දෙන්න.” යැයි ද ඔහු පැවසීය.