ඉන්දු-පාකිස්තාන අර්බුදය දේශසීමා ගැටුමක් මෙන්ම රාජ්‍ය දෙක අතර පවත්නා ගැටුමකි. දේශසීමා අර්බුද දිගුකාලීන ගැටුම් ලෙස ජාත්‍යන්තර සබඳතා විෂයයේදී හඳුනා ගැනේ. එය දසක හතකටත් වඩා ඉතිහාසයකට මුල් ඇදෙන ගැටුමකි.
දිගුකාලීන ගැටුම් විසඳීම පහසු නැත. මෙම ගැටුමෙහි ජනවාර්ගිකමය අනන්‍යතාවක් ද තිබේ. එනම්, හින්දු සහ මුස්ලිම් වාර්ගික විරසකයයි. කාශ්මීරය මුල් කරගත් පළමු ඉන්දු-පාකිස්තාන යුද්ධය 1947 දී සිදු විය. බ්‍රිතාන්‍යයන් විසින් ක්‍රියාත්මක කරන ලද බෙදා වෙන් කිරීමේ සැලසුම (Partition Plan) අනුව එවකදී කුමර රාජ්‍යයක් වශයෙන් පැවතුණු ජම්මු-කාශ්මීර ප්‍රදේශයෙහි අයිතිය ඉන්දියාවට හෝ පාකිස්තානයට හෝ පැවරුවේ නැත. එම ප්‍රදේශයෙහි බහුතරය මුස්ලිම් ජාතිකයන් වුවත් එය ස්වාධීනව පවත්වාගෙන යෑමට විධිවිධාන සලසන ලදී. පාකිස්තාන ජාතිකයන් කාශ්මීර ප්‍රදේශය සිය රටට ලැබිය යුතු බව අවධාරණය කරමින් සටන් කිරීමත් සමග 1947 දී පළමු ඉන්දු-පාකිස්තාන යුද්ධය ආරම්භ විය.
එම කාලය එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහිවීමේ ආරම්භ අවධිය විය. එම සංවිධානයේ ප්‍රඥප්තිය අනුව ජාත්‍යන්තර සාමය උල්ලංඝනය වෙන ඕනෑම අවස්ථාවක එහි ආරක්ෂක කවුන්සලයේ මැදිහත්වීමෙන් තීරණ ගැනීමේ බලය හිමි වේ. ඒ අනුව සම්මත කර ගන්නා ලද 47 වැනි යෝජනාවෙන් කියා සිටියේ ගැටුමක් ඇති නොකර ජම්මු කාශ්මීර පාලන ප්‍රදේශය බෙදා වෙන් කර ගැනීමට කටයුතු කරන ලෙසය. ඒ අනුව ඉදිරියට යමින් ප්‍රශ්නගත කාශ්මීරයේ කොටසක පාලනය පාකිස්තානයටත් තවත් කොටසක පාලනය ඉන්දියාවටත් බෙදා වෙන් කෙරිණි.
පළමු යුද්ධය ඒත් සමග නිමාවට පත් වුවත් යළිත් මේ දෙරට 1965 දී කාශ්මීරය මුල් කරගෙන යුද්ධය හටගත්තේය. එය විශාල පරිමාණයේ යුද්ධයක් වූ අතර ඇතැම් යුද විශ්ලේෂකයන්ට අනුව දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ඇති වූ විශාල යුද්ධ ටැංකි යොදා ගනිමින් සිදු කළ මෙම යුද ගණයට අයිති දේශසීමා ගැටුමකි.
එම කාලවකවානුව තුෂ්ණි යුද්ධය පැවති අවධිය හෙයින් එවක පැවති ඇමෙරිකාව සහ සෝවියට් දේශය කේන්ද්‍ර වූ බල කඳවුරු දෙකම ඒ යුද්ධයට මැදිහත් විය. සෝවියට් දේශය පාකිස්තානයටත් ඇමෙරිකාව ඉන්දියාවටත් සහාය ලබා දුන්නේ ය. 1960 දසකය ගෝලීය දේශපාලනයෙහි යම් සංහිඳියවක් ගොඩනගා ගැනීමට උත්සාහ දැරූ කාලයක් හැටියට ප්‍රචලිත අතර ඇමෙරිකාවේත් සෝවියට් දේශයේත් මැදිහත්කරණය මත එවක ඉන්දීය අගමැතිවරයා වූ ලාල් බහදූර් ශාස්ත්‍රි සහ පාකිස්තාන ජනාධිපති මුහම්මද් අයුබ් කාන් උස්බෙකිස්තානයේ දී ටෂ්කෙන්ට් ප්‍රකාශනය (Tashkent Declaration) ට 1966 දී අස්සන් තැබූහ.
නැවතත් මේ දෙරට අතර යුද ගැටුම් ඇති වූයේ 1999 දීය. එය හඳුන්වන්නේ කාගීල් යුද්ධය ලෙස ය. එහිදී ඉන්දීය පාලනය යටතේ පවතින කාශ්මීරයේ කාගීල් ප්‍රදේශය පාකිස්තාන හමුදා විසින් ආක්‍රමණය කරනු ලැබූ අතර කාශ්මීරය කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වෙන ත්‍රස්තවාදී කණ්ඩායම් ගණනාවක් තිබෙන බව ද සඳහන් කළ යුතුය. ඒවායෙන් බොහොමයක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලැයිස්තුගත ත්‍රස්තවාදී සංවිධාන ද වේ. එම සංවිධානවලට පාකිස්තානු රජය සෘජුව උදව් කරන බවට ඉන්දියාව කාලයක සිට කරන ප්‍රධාන චෝදනාවකි.
මේ ඉන්දු-පාකිස්තාන ගැටුමේ ඓතිහාසික ස්වරූප විමසා බැලීමෙන් පසු වර්තමානය වෙන විට දෙරට අතර උත්සන්න වී ඇති ගැටුමෙහි ස්වභාවය හා ඇතිවිය හැකි ප්‍රතිවිපාක අපට විමසා බැලිය හැකි ය. එහිදී මම කෝණ තුනකින් මේ ගැටුම විමසමි. පළමුවැන්න නම්, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් ගන්නා ලද පරිපාලනමය ක්‍රියාමාර්ග සහ ජම්මු-කාශ්මීර ප්‍රදේශයට අදාළ ඔහුගේ දැක්මයි. ඉන්දීය පාලිත ජම්මු-කාශ්මීරයට නව මුහුණුවරක් හඳුන්වා දෙන බව ඔහුගේ ප්‍රධාන සටන් පාඨයක් විය.
නිතර ගැටුම් පවතින මේ ප්‍රදේශය නිදහස් කලාපයක් කිරීමටත් එහි ඇති විභවතා මත එය ලෝකයට වටිනා ප්‍රදේශයක් කිරීමටත් මෝදි අගමැතිවරයාට අවශ්‍ය වූ අතර ඒ වෙනුවෙන් 2019 දී විශාල දේශපාලන ව්‍යාපාරයක් ද ගෙන ගියේ ය. ඒ යටතේ මෝදි පරිපාලනය එතෙක් කාශ්මීරයට දී තිබූ අර්ධ ස්වායත්ත පාලන තත්වය ඉවත් කිරීමට කටයුතු කළේ ය. ඉන්දියාවේ සෙසු ප්‍රාන්ත හා සමාන ප්‍රාන්තයක් බවට කාශ්මීරය පත් කිරීමේ ඔහුගේ අවසාන අරමුණ විය. ඉන්පසු කාශ්මීරයට සංචාරකයන් වැඩි වශයෙන් පැමිණෙන අතර ව්‍යාපාර කටයුතුවල ද විශාල දියුණුවක් සිදු විය. එය දැවැන්ත පරිවර්තනයක් ලෙස සැලකිය හැකිය.
පසුගිය 22 වැනිදා එල්ල කෙරුණු ත්‍රස්තවාදී ප්‍රහාරයත් සමග කාශ්මීරයට අදාළව ගොඩනගා තිබූ වර්ධනීය තත්වය දුර්වල වීමක් සිදු විය. මෝදිගේ පාලනය මගින් මේ ප්‍රහාරය කවර මට්ටමකින් ගනීද යන්න අවදානම් සහගතය. හේතුව මෙම ප්‍රහාරය කාශ්මීරය සම්බන්ධයෙන් මෝදි අගමැතිවරයාගේ සිහිනය බොඳ කරන්නක් බැවිනි. කලාපීය ආතතිය උත්සන්න වීමටත් මේ ප්‍රහාරය හේතුවක් බව අවිවාදිත ය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සලය නියෝජනය කරන රටවල් පහට න්‍යෂ්ටික බලය හිමි ය. එම රාජ්‍යයන්ට අමතරව න්‍යෂ්ටික බලය හිමි රටවල් අතර ඉන්දියාවත් පාකිස්තානයත් පෙරමුණේ පසු වේ.
1970 ගණන්වල සිටම එකට එක කරන ස්වරූපයෙන් මේ රටවල් දෙක න්‍යෂ්ටික අවි උපායමාර්ගිකව වර්ධනය කර ගත්තේ ය. ඉන්දියාව 1974 දී න්‍යෂ්ටික අවි නිපදවීම ආරම්භ කළ විට පාකිස්තානය අභියෝගාත්මකව ප්‍රකාශ කළේ තමන් කුසගින්නේ මිය ගියත් ඉන්දියාවට වඩා බලැති න්‍යෂ්ටික අවි නිපදවන බවය. බලවත් රටවල් දෙකක් මෙයාකාරයට එකිනෙකාට ප්‍රතිවිරුද්ධව ප්‍රතිචාර දැක්වීම සුළුවෙන් තැකිය හැකි දෙයක් නොවේ.
මෙපරිදි තරගකාරීව න්‍යෂ්ටික අවි නිපදවුව ද මුහුණට මුහුණ ගැටුණහොත් විය හැකි විනාශය ඉතා ඉහළ බැවින් මේ රටවල් දෙක එවැනි ගැටුමකට අවතීර්ණ නොවුණ ද යුද්ධය සඳහා ඇති සූදානම පෙන්වයි. ඒ අනුව ඉන්දියාව මුලින්ම කළේ අරාබි මුහුදේ යුද යාත්‍රා ස්ථානගත කිරීම ය. හේතුව ගොඩබිමට වඩා සාගරය උපායමාර්ගිකව තීරණාත්මක වෙන බැවිනි. මුහුදේ දී යුද්ධ කිරීමට මෙන්ම භාණ්ඩ ප්‍රවාහන නෞකා අවහිර කිරීමට ද හැකි ය.
එවැනි තත්වයක් උද්ගත වුවහොත් ආර්ථික යුද්ධයකට එය නිමිත්තක් වෙනු ඇත. ගැටෙන්න ආසන්න තත්වයේ සිටින්නේ න්‍යෂ්ටික බලවතුන් දෙදෙනෙකි. පාකිස්තානයට සාපෙක්ෂව ඉන්දියාවේ බලය ඉතා වැඩි ය. පාකිස්තානයේ තිබෙන දේශපාලන අස්ථාවරභාවය ආර්ථිකමය කඩාවැටීම හමුවේ පාකිස්තානය යනු පසුගිය කාලයේ දී නැගී සිටි රාජ්‍යයක් නොවේ. එහෙත් පාකිස්තානය බැහැර කළ හැකි රටක් ද නොවේ. ඊට එක් හේතුවක් නම් කලාපීය වශයෙන් පාකිස්තානයට චීනයේ සහාය හිමිවීමය. එසේම පාකිස්තානය යනු නැගෙනහිර සහ බටහිර යා කරන ප්‍රධාන භූමියකි. නැගෙනහිරට සහ බටහිරට යන ගෑස් නළ බොහොමයක් පාකිස්තානය හරහා වැටී තිබේ. තවද නොයෙක් ත්‍රස්තවාදී කණ්ඩායම් මගින් අවි හා මිනිස් ජාවාරම් කටයුතු ද වැඩිවශයෙන් සිදු වේ. මෙපරදි විවිධ ගෝලීය ප්‍රවාහයන් පාකිස්තාන භූමිය භාවිත කරන ස්වභාවය සැලකීමේ ද පාකිස්තානය සුළුවෙන් තැකිය හැකි රටක් නොවේ.
මේ දෙරටම අරාබි මුහුදට මුහුණලා සිටින රාජ්‍යයෝය. ඔවුන් මුහුදේ නාවුක ශක්තිය වැඩි කිරීමෙන් ඉන්දියානු සාගර කලාපයේ සිදු වෙන ආර්ථික කටයුතු දුර්වල වීමට ඉඩ තිබේ. විශේෂයෙන් ම ඉන්දියානු සාගරය බහුලව නාවුක ගමනාගමන කටයුතු සිදු වෙන කාර්යබහුල සාගර කලාපයක් වෙන අතර යුද උණුසමක් මතු වීමෙන් කලාපයෙන් බැහැර බලවතුන්ගේ මැදිහත්කරණය ද සිදු වෙන ගෝලීය අර්බුදයක් බවට පත් විය හැකි ය. මීළඟට මේ ගැටුම්කාරී වාතාවරණය හමුවේ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියෙහි සලකා බැලිය යුතු උපායමාර්ගික ක්ෂේත්‍ර විග්‍රහ කළ හැකි ය.
අපේ විදේශ ප්‍රතිපත්තියෙහි ශක්තීන් මොනවාද යන්න හඳුනාගැනීම පළමුව වැදගත් ය. ඒ සඳහා අපට ප්‍රවේශ වීමට සිදුවෙන්නේ ලංකාවේ දේශපාලන ව්‍යුහයේ පවතින දුර්වලතා සහ දූරදර්ශීව විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක නොකිරීමේ දුර්වලතා යනාදිය මධ්‍යයේ ය. මේ ඉන්දු-පාකිස්තාන ගැටුමට කවර ලෙසකින්වත් ශ්‍රී ලංකාව අතපෙවිය යුතු නැත. කිසිදු පාර්ශ්වයකට පක්ෂ වීම හෝ එරෙහි වීම හෝ දූරදර්ශී භාවිතයක් නොවේ. යම් හෙයකින් න්‍යෂ්ටික යුද්ධයක් උද්ගත වුවහොත් ශ්‍රී ලංකාව සිටින්නේ එම යුද්ධය සිදු වෙන පරිධියේ බව අප අමතක නොකළ යුතු ය. ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර සමීප සබඳතා පවතින අතර වෙළෙඳ ගනුදෙනු අර්ථයෙන් ගත් විට ද අපට ඉන්දියාව වඩාත් සමීපස්ථ වේ.
අප පාකිස්තානය සමග ද මනා වෙළෙඳ ගනුදෙනු සිදු කර තිබේ. යුද ශක්තිය අතින් ශ්‍රී ලංකාවට ඉන්දියාව සහ පාකිස්තානය සමග ළඟින් සිට ගැනීමටවත් නොහැකි ය. නොබැඳි ජාතීන්ගේ රටක් හැටියට ශ්‍රී ලංකාව කලාපීය ගැටුම්වලට සම්බන්ධ නොවන එහෙත් ප්‍රතිපත්තිමය සබඳතා ගොඩනගා ගෙන තිබේ. ඒවා පළුදු වෙන ආකාරයට ඉන්දියාවට පක්ෂපාතී දේශපාලන ප්‍රකාශ නිකුත් කිරීම නොකළ යුතු ක්‍රියාවකි.
දකුණු ආසියානු කලාපයේ රටවල් අටෙන් භූමිය හා ජනගහනය අතින් විශාල රාජ්‍යයන් වන්නේ ද මේ රටවල් දෙකය. මේ දෙරට සමගම අපට ඓතිහාසික සමාජ සහ සංස්කෘතික සබඳතා ඇත. ඉන්දියාවත් පාකිස්තානයත් සමග අපට ද්වීපාර්ශ්වික සබඳතා ද තිබේ. මෙවැනි සන්දර්භයක මෙම දෙරට අතර උත්සන්නව ඇති ආතතිය අවම කිරීමට යමක් කළ හැකි නම් අපේ අවධානය යොමු විය යුත්තේ ඒ කෙරෙහි ය. ඒ වෙනුවට කිසිදු රටකට පක්ෂපාතීව කටයුතු නොකළ යුතු ය. ශ්‍රී ලංකාව කුඩා රටක් හෙයින් දෙරට අතර යුද්ධයක් ඇති වුවහොත් එහි බලපෑම් ඇති වේ. කලාපය අස්ථාවර වුව හොත් කුඩා රටවල් ද ඒ හා සමාන අස්ථාවරත්වකට මුහුණ දෙයි.
මේ ගැටුමේ දී ඇමෙරිකානු විදේශ ප්‍රතිපත්තිය දෙබිඩි ස්වරූපයකින් ක්‍රියාත්මක වෙන බවක් නිරීක්ෂණය කළ හැකි ය. යුද ගැටුමක් ඇති කර නොගන්නා ලෙස ඉන්දියාවටත් පාකිස්තානයටත් උපදෙස් දෙමින් ඇමෙරිකාව කියන්නේ ඉන්දියාවට සම්පූර්ණ සහාය ලබා දෙන බව ය. මේ ගැටලුව සාමකාමීව විසඳා ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ද අවධාරණය කර තිබේ. මේ අවස්ථාවේ සිදු වෙන්නේ තමන් යුද්ධයට සූදානම් බව පෙන්වීම ය. යුද්ධයට ආසන්න මොහොතක සිටින අවස්ථාවකි. යුද්ධයක් ආරම්භ වෙතැයි එක එල්ලේ ම කිව නොහැකි ය. මන්ද, මීට පෙරත් අවස්ථා ගණනාවක දීම දෙරට අතර ආතතිකාරී සබඳතා ඇති වූ හෙයිනි. අනෙක් අතට මේ අවස්ථාවේ යුද්ධයකට ගියහොත් කාශ්මීරය සම්බන්ධ මෝදි අගමැතිවරයාගේ සිහිනය ද බොඳ වෙනු ඇත. එවැනි යුද්ධයක් නැගී එන ඉන්දීය ආර්ථිකයට ද මහත් අහිතකර ප්‍රතිවිපාක ලබා දෙනු ඇත.
ඉන්දියාව යනු සංවර්ධන ආධාර ලබා දෙන ගෝලීය දකුණේ පිහිටි ප්‍රධාන රාජ්‍යයකි. නැගී එන බලවත් රාජ්‍යයක් හැටියට ඉන්දියාව අත්කර ගෙන ඇති ප්‍රතිරූපය පවත්වා ගෙන යෑමට ද එරටට අවශ්‍ය වේ. මේ සියලු කාරණා මත කිව හැක්කේ දෛනික පහර දීම් සිදු වුව ද දුර දිග යන යුද්ධයක් උද්ගත නොවිය හැකි බව ය.
(*** සාකච්ඡා සටහන - උපුල් වික්‍රමසිංහ)
ඉන්දු-පාකිස්තාන අර්බුදය දේශසීමා ගැටුමක් මෙන්ම රාජ්‍ය දෙක අතර පවත්නා ගැටුමකි. දේශසීමා අර්බුද දිගුකාලීන ගැටුම් ලෙස ජාත්‍යන්තර සබඳතා විෂයයේදී හඳුනා ගැ
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් පවත්වාගෙන යාම සඳහා ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන ආයතන තුන පැවතිය යුතු අතර ඒවායේ බලතල ස්වාධීනව පවත්වාගෙන යාම
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි
2025 අප්‍රේල් 2 වැනිදා, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රටවල් 90කින් පමණ එක්සත් ජනපදයට ආනයනය කරන සියලුම භාණ්ඩ සඳහා සියයට 10ක මූලික තීරුබදු ඇතුළුව ආන
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව 2024 වසරේදී මෙරට ආර්ථිකය සියයට 5.4කින් වර්ධනය වී තිබේ. එය සුවිශේෂ වන්නේ වසර කිහිපයක් තිස්සේ ආර්ථිකය සං
ඉතිහාසයේ ආරම්භයේ සිටම ශිෂ්ටාචාර වේගයෙන් වෙනස්වන තත්වය සහ ප්‍රමුඛතා හරහා සමාජයේ මූලික අවශ්‍යතා දෙකක් වන ආරක්ෂාව සහ නිදහස යන දෙක අතර නිවැරදි සමතුලිතතා
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ලොවම බලාසිටින ඉන්දු - පාකිස්තාන අර්බුදය