(සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ අවස්ථාවේදී මැතිවරණ කොමිසම පිළි නොගන්නා හෙයින් අක්‍රිය වී තිබෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බැංකු ගිණුම තාවකාලිකව අත්හිටුවීමට ක්‍රියාකරන ලෙසට මහජන බැංකුවේ සුදුවැල්ල ශාඛාවෙන් ලිඛිතව ඉල්ලීමක් කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නඩු කිහිපයකට මුහුණ දී සිටින බවද ඔහු පැවසුවේය.

වසර කිහිපයක් තිස්සේ මෙම පක්ෂයට කිසිදු මැතිවරණයකට තරඟ කිරීමට නොහැකි වී ඇති බවත් මේ ආකාරයට දිගින් දිගටම නඩු කටයුතු ක්‍රියාත්මක කළහොත් පක්ෂය ජනතාවගෙන් ඈත්වීමට ඉඩ තිබෙන බවත් ඔහු පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලස්ථානය බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින පිරිසක් පක්ෂයේ අරමුදල් අවභාවිතා කරන බවත් එය පක්ෂ සාමාජිකයින්ට කරන බරපතළ හානියක් බවත් මන්ත්‍රීවරයා පැවසීය.

සියලුම පක්ෂ සාමාජිකයින් මේ ගැන විමසිලිමත්ව සිටින ලෙස දයාසිරි ජයසේකර මහතා ඉල්ලීමක් කළේය.