(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
වයඹ පළාත් සභාව හය මහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා රුපියල් කෝටි 28කට ආසන්න මුදලක් වියදම් කර තිබුණද මෙම වසරේ පෙබරවාරි 10 දින වනවිටත් එහි ඉදිකිරීම් මූලික අදියරේ පවතින බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා කමිටුව) තොරතුරු අනාවරණය විය.
අදාළ කොන්ත්‍රාත්කරු සමග ගිවිසුම අවලංගු කර වැඩ බිමේකොන්ත්රාත්කරුගේ ද්‍රව්‍ය හා උපකරණ ඉවත් කර වැඩබිම භාරදෙන ලෙස කොන්ත්‍රාත්කරුට දැනුම්දී තිබුණද ඒ අනුව කොන්ත්‍රාත්කරු කටයුතු කර නොතිබුණු බවද හෙළි වී ඇත
මේ සම්බන්ධයෙන් පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ කොරෝනා කාලසීමාව නිසා ඉදිකිරීම් තරමක් ප්‍රමාද වී ඇති බවත්, කොන්ත්‍රාත්කරු ඉදිරිපත් කළ මිල ගණන්වල ප්‍රායෝගික ගැටලු පවතින බවත්ය. එනම් මිල ගණන් අඩුවෙන් යොදා තරඟකාරීත්වය මත කොන්ත්‍රාත්තුව ලබාගෙන ඇති බව නිලධාරීහු වැඩිදුරටත් පෙන්වා දුන්හ. මේ අනුව මේ සම්බන්ධයෙන් ආවස්ථික පිරිවැය ඇස්තමේන්තුවක් සකස්කර මාසයක් ඇතුළත කාරක සභාවට ලබාදෙන ලෙස නිර්දේශ කරන ලදි.
වයඹ පළාත් සභාව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හමුවට කැඳවා තිබූ අතර මෙහිදී 2025 ඹක්තෝබර් 05 වැනි දින පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභා රැසවීමේදී ලබාදී තිබූ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සම්බන්ධයෙන් විමසා බැලීම සහ වයඹ පළාත් සභාවේ වර්තමාන කාර්ය සාධනය පිළිබඳ අවධානය යොමු කිරීම සිදු කරන ලදි.
මේ පිළිබඳ කරුණු සාකච්ඡා වුයේ වයඹ පළාත් සභාවේ 2021-2023 වර්ෂයන්ට අදාළ විගණකාධිපති ත්‍රෛවාර්ෂික තත්ත්ව වාර්තාව සහ 2024 විගණකාධිපති වාර්තාව හා වර්තමාන කාර්යසාධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) 2026.03.05 වන දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
මෙම කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා එදින නොවූ බැවින්, ස්ථාවර නියෝගවලට අනුව රැස්වීමට සහභාගී වූ කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරු අතරින් එදින වැඩකටයුතු ඉටුකිරීමට මූලාසනය සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා පත් කර ගැනීමෙන් අනතුරුව කාරක සභා රැස්වීම පැවැත්විනි.
එසේම කුරුණෑගල ප්රාදේශීයසෞඛ්ය සේවා අධ්යක්ෂ කාර්යාලයට අයත් වාහන දෙකක් අනතුරට ලක්වි පිළිවෙළින් වසර 5 ක් හා වසර 4ක් ගතවී තිබුණද, එකතුව රු. මිලියන 18.335ක සිදුව තිබෙන අලාභ, අදාළ වගකිව යුතු පාර්ශ්වයන්ගෙන් අයකරගෙන නොතිබුණු බව මෙහිදී අනාවරණය විය. මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ මේ සම්බන්ධයෙන් අභ්‍යන්තර විනය පරීක්ෂණයක් දැනට ක්‍රියාත්මක බවයි. මේ අනුව මේ සම්බන්ධයෙන් වන ප්‍රගතිය මාස 3ක් ඇතුළත කාරක සභාවට දැනුම්දෙන ලෙස කාරක සභා විසින් නිර්දේශ කරන ලදි.
තවද වයඹ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් 2021 වර්ෂයේදී එම දෙපාර්තමේන්තුවේද මූල්‍ය දායකත්වය සහිතව මිලදීගත් කොම්පෝස්ට් පෙහොර නිෂ්පාදනය කරන යන්ත්‍ර, සූර්ය බල වියලන යන්ත්‍ර සහ Multi Chopper Diesel යන්ත්‍ර නිෂ්කාර්යව පැවතීම සම්බන්ධයෙන් කාරක සභාවේ අවධානය යොමු විය. මෙහිදී පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ මේවා එකල පැවති රජය විසින් කාබනික පොහොර දිරිමත් කිරීමට ගත් ප්‍රතිපත්තිමය තීරණය මත මිලදීගත් යන්ත්‍ර බවයි. නමුත් එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක නොවීම මත මෙම යන්ත්‍ර ප්‍රශස්ථ ලෙස භාවිත නොවන බව එම නිලධාරීහු වැඩිදුරටත් පෙන්වා දුන්හ. මේ අනුව මෙම යන්ත්‍ර පළදායී ලෙස ගොවීන්ට ලබාදීමට හැකිවන ආකාරයේ ව්‍යාපෘතියක් මාස 3ක් ඇතුළත කාරක සභාවට යෝජනා කරන ලෙස කාරක සභාව විසින් නිර්දේශ කරන ලදි.
එසේම වයඹ ප්‍රාදේශීය සම්පත් අධිකාරිය විසින් 2002 වර්ෂයේ සිට 2008 වර්ෂය දක්වා ඉදිකරන ලද ව්‍යාපෘති 6ක් නිෂ්කාර්යව පැවතීම සම්බන්ධයෙන්ද කාරක සභාවේ අවධානය යොමු විය. මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ මෙම දත්ත නිවැරදි බවත් ව්‍යාපෘති උපරිම ආකාරයෙන් උපයෝජනය කිරීමට උත්සාහ කරන බවත්ය.
මීට අමතරව වයඹ පළාත් නිවාස හා ඉදිකිරීම් සංවර්ධන අරමුදල යටතේ කට්ටිකර විකිණීමට සහ නිවාස ඉදිකිරීමට මිලදීගෙන තිබූ ඉඩම් තුනක් සම්බන්ධයෙන්ද කාරක සභාවේ අවධානය යොමු විය. 2026 පෙබරවාරි 16 වන විට මෙම ඉඩම් 3හි කට්ටි 40න් 17ක් අලෙවිකර තිබූ බවත් ඉන් ඉඩම් කට්ටි 7කට අත්තිකාරම් මුදල් පමණක් ලබාගෙන තිබූ බවත් මෙහිදී කාරක සභාව පෙන්වා දුන්නේය. මේ අනුව මේ සම්බන්ධයෙන්ද මාස 3ක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස කාරක සභාව විසින් නිර්දේශ කරන ලදි.
මෙම රැස්වීම සඳහා කාරක සභා සාමාජික නියෝජ්‍ය අමාත්‍යවරුන් වන නලීන් හේවගේ, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර, දිනිඳු සමන් හෙන්නායක, කාරක සභා සාමාජික මන්ත්‍රීවරයන් වන එම්. එල්. එ්. එම්. හිස්බුල්ලා, හෙක්ටර් අප්පුහාමි, චානක මාදුගොඩ, ජේ.සී. අලවතුවල, සුනිල් රත්නසිරි, ඔෂානි උමංගා, මංජුල සුරවීර ආරච්චි, රුවන් තිලක් ජයකොඩි, ටී. කේ. ජයසුන්දර සහ සුසන්ත කුමාර නවරත්න යන මහත්ම මහත්මීහුද සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd