(සුජිත් හේවාජුලිගේ)

වත්කම් බැරකම් ප්‍රකාශ මාර්ගගත ක්‍රමයට ඉදිරිපත් කිරීමට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වෙබ් අඩවියට පිවිසීමට ලක්ෂයකට ආසන්න පිරිසක් අද දින එකවර රැඳී සිටීම හේතුවෙන් විශාල පිරිසක් එම කටයුතු අවසන් කර ගැනීමට නොහැකිව අපහසුතාවට පත්වූහ.

දුෂණ විරෝධී නව පනත (2023) අනුව, වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු රාජ්‍ය සේවකයන් මාධ්‍යවේදීන් සහ වාප්පු ලිපිකරුවන් ඇතුළු පිරිස් හෙට (30) දිනයට පෙර එම ප්‍රකාශ අල්ලස් හෝ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට බාරදිය යුතුවේ.

අල්ලස් කොමිසම වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු බවට ඇතැම් පාර්ශ්වයන්ට අවසන් මොහොතේ දැනුම් දීම හේතුවෙන් ඔවුන්ට ඒ සඳහා ප්‍රමාණවත් කාලයක් නොලැබීමෙන් ඒ කටයුතු අවසන් කර ගැනීමට නොහැකිවුණු බව ඔවුහු පෙන්වා දෙති.

මේ සම්බන්ධයෙන් අප අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ලක්ෂයකට ආසන්න පිරිසක් අද එකවර පිවිසීමට උත්සාහ දැරීම හේතුවෙන් විශාල තදබදයක් ඇතිවුණු බවයි.

මේ හේතුවෙන් වත්කම් බැරකම් ප්‍රකාශ මාර්ගගත ක්‍රමයට ඉදිරිපත් කිරීමේ කටයුතුවලට යම් යම් අවහිරතා මතුවූ බවද හෙතෙම සඳහන් කළේය.

වෙබ් අඩවියේ අවහිරතාව ඉදිරි පැය කිහිපයේදී මගහැරී යනු ඇතැයිද ඔහු වැඩිදුරටත් පැවසීය.