(අංජුල මහික වීරරත්න)

බෝ නොවන රෝග පාලනයේ දී  රෝගීන්ට තමා භාවිතා කරන ඖෂධ පිළිබඳව අවබෝධයක් ලබා දීම සඳහා

ඖෂධවේදී උපාධිධාරීන්ගේ දැනුම සහ කුසලතා දායක කර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය නව වැඩසටහනක් අරඹා තිබේ.

රජයේ ඖෂධවේදී වෘත්තිකයින්ගේ වෘත්තීය ගැටළු කිහිපයක් සඳහා විසදුම් ලබාගැනීම වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා  සහ රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ විධායක සභාවේ නිලධාරීන් අතර  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවකදී මේ බව අනාවරණය කෙරිණි.

එම සාකච්ඡාවේ දී සායනික ඖෂධවේදය රෝහල් පද්ධතියේ  ආරම්භ කිරීම, ඖෂධවේදී සභාව ස්ථාපිත කිරීම, උපාධිධාරී ඖෂධවේදීන් සෞඛ්‍ය සේවාව සඳහා බඳවා ගැනීම, රජයේ ඖෂධවේදීන් සඳහා රාජකාරී වේලාවෙන් පසු පෞද්ගලික සේවයේ යෙදීමට අවස්ථාව සලසා ගැනීම, ප්‍රාථමික සෞඛ්‍ය සේවය රෝගී සත්කාර සේවාවන් ඉලක්ක කරගෙන සංවර්ධනය කිරීම හා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන ව්‍යාපෘතිය සඳහා ඖෂධවේදි සේවාව ලබාගැනීම ආදී කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කෙරුණි.

ආරෝග්‍යා සෞඛ්‍ය මධ්‍යස්ථාන මගින් රෝගීන්ට ඖෂධ නිකුත් කිරීමේ දී රෝගීන්ට තමා භාවිත කරන ඖෂධ වට්ටෝරුව පිළිබදව අදාළ තොරතුරු විධිමත් පරිදි ලබා දීම සඳහා උපාධිධාරී ඖෂධවේදීන්ගේ සේවාව ඉදිරියේදී යොදා ගැනීමට ඇති හැකියාව පිළිබඳව ද මෙහි දී සාකච්ඡා කරනු ලැබීය.