(අංජුල මහික වීරරත්න)

ලෝක රේගු සංවිධානයේ දූෂණ විරෝධී සහ සුපිළිපන්භාවය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන මෙහෙයවන ඇන්ඩ්‍රියා හැම්ප්ටන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් එම සංවිධානයේ සුපිළිපන්භාවය ප්‍රවර්ධනය කිරීමේ තාක්ෂණික උප කමිටුවේ තිදෙනෙකුගෙන් යුත් නියෝජිත කණ්ඩායමක්  ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ජනාධිපති කාර්යාලයේදී හමුවිය. 

ශ්‍රී ලංකා රේගුව සමඟ දූත මණ්ඩල සංචාරයක නිරත මෙම නියෝජිත පිරිස, රාජ්‍ය අංශය තුළ සුපිළිපන්භාවය ප්‍රවර්ධනය කිරීම, යහපාලනය ශක්තිමත් කිරීම සහ දූෂණ විරෝධී ප්‍රයත්නයන් ඉදිරියට ගෙන යාම සඳහා ජනාධිපති කාර්යාලය විසින් මෙහෙයවන ක්‍රියාමාර්ග පිළිබඳව ජනාධිපති ලේකම් සමඟ සාකච්ඡා කළහ.

නියෝජිත පිරිස අමතමින් ආචාර්ය කුමානායක මහතා, දූෂණය පිටු දැකීම සඳහා රජය විසින් ලබා දී ඇති ඉහළම ප්‍රමුඛතාවයට අනුකූලව, සදාචාරාත්මක, වගවීමකින් යුත් සහ දූෂණයෙන් තොර රාජ්‍ය සේවයක් ගොඩනැගීම සඳහා අභ්‍යන්තර කටයුතු ඒකක විසින් ඉටු කරනු ලබන වැදගත් කාර්යභාරය අවධාරණය කළේය. 

මේ වෙනුවෙන් කැපවූ අංශයක් ජනාධිපති කාර්යාලය තුළ ස්ථාපිත කර ඇති බවත්, එමඟින් අභ්‍යන්තර කටයුතු ඒකක ස්ථාපනය කිරීම, නිලධාරීන්ගේ ධාරිතාව ගොඩනැගීම සහ එම ඒකකවල මෙහෙයුම් විධිමත් කිරීම සහ පහසුකරලීම සඳහා මාර්ගගත පද්ධතියක් හඳුන්වා දීම සඳහා ක්‍රියාකාරීව කටයුතු කරන බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.