(විමුක්ති එස් රුද්‍රිගු)

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල කඩාවැටීම ආරම්භවීමත් සමග විදේශ විනිමය අනුපාතය රටක ආර්ථිකය, ප්‍රගතිය සහ සියලුම දේ මනින එකම නිර්ණායකය ලෙස සාවද්‍ය තොරතුරු සමාජගතවීමත් සමග ඉන් ක්ෂේත්‍රයේ නිරතවී සිටින පාර්ශ්ව මෙන්ම සාමාන්‍ය ජනතාවද කලබලයට, බියට පත්වූ බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා  ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

ඇතැම් පාර්ශ්ව වත්මන් තත්වය ආර්ථික අර්බුදය පැවැති 2022 වසරට සමාන කිරීමට උත්සාහ දැරූ බවත් එහිදී 2022 වසරේ ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 370 ක් දක්වා ඉහළ ගොස් තිබූ බවත් වර්තමානයේද ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 370 දක්වා ඉහළ ගියපසු රට කඩා වැටෙනු ඇතැයි න්‍යායක් ගොඩනැගීමට එම පාර්ශ්ව උත්සාහ දැරූ බවත් ඔහු පැවැසුවේය.

නමුත් 2022 වසරේ ඩොලරයට සාපේක්ෂව රුපියල කඩා වැටීමත් වර්තමානයේ ඩොලරයට සාපේක්ෂව රුපියල කඩා වැටීමත් අහසට පොළොව වැනි එකිනෙකට හාත් පසින්ම වෙනස් කාරණා දෙකක් බව ජයන්ත මහතා ප්‍රකාශ කළේය. අවස්ථා දෙකේ කිසිඳු සම්බන්ධතාවයක් නොමැති බවද ඔහු සඳහන් කළේය .

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 2022 වසරේදී රුපියල කඩා වැටුණේ රට බංකොළොත් වීම හේතුවෙන් බවත් නමුත් මෙවර රුපියල කඩා වැටීමට හේතුව වුයේ මැද පෙරදිග අර්බුදය ක්ෂණික ප්‍රතිඵල මත ඇතිවූ ගෝලීය තත්වයන් බවද ඔහු ප්‍රකාශ කළේය.

මැද පෙරදිග අර්බුදය හේතුවෙන් තෙල් මිල ඉහළ ගිය බවත් තෙල් මිල ඉහළ ගිය විට තෙල් ආනයනය නතරකර දැමීමට හැකියාවක් නොමැති බවද ඔහු පැවැසුවේය.