2017-02-23-ent-37  

 

වත්මන් ශ්‍රී ලාංකීය සිනමාවේ සටන් කලා රංග වින්‍යාශයේ සලකුණ ඔහුය. වසන්ත කුමාරවිල වන ඔහු වත්මන් සිනමාවට සටන් කලා අංශයෙන් ජවයක් ගෙනා අපූරු ශිල්පියෙකි. අභියෝග බාර ගැනීමට සහ ඒවා ප‍්‍රායෝගික කර ගැනීමට නිතර ප‍්‍රයත්න ගන්නා වසන්ත ගැන මේ දිනවල සිනමා පේ‍්‍රක්ෂකයින් වැඩිදෙනා කතා බහ වන්නේ තිරගත වන ”රන්සයුර”

සිනමා නිර්මාණය නිසයි. වෙනදාමෙන් සුපුරුදු සටන් රංගනයට පමණක් සීමා නොවූ වසන්ත එහි ප‍්‍රධාන චරිතය රඟපාන ශිල්පියා වන්නේය. රන්සයුර කළතන මේ ජව සම්පන්න කඩවසම් රංග ශිල්පියා එනිසාම අපි සඳැල්ලට කැඳවීමු.

 

වසන්ත කියමුකො බලන්න ඔබ ගැන විස්තර ටිකක්?

2017-02-23-ent-39කළුතර දී ඉපදිලා, පානදුරේ හැදී වැඩිලා දැන් පදිංචිය පිළියන්දල.

 

කරාතේ පිස්සුවක්ලූ පොඩි කාලයේ ඉඳලම තිබුණෙ නේද?

සහතිකෙන්ම ඔව්. ඉගෙනීමට අමතරව ජීවිතයම කරාතේ වුණා. බයිස්කෝප් බලන්න පෙළැඹුණෙත් ඒ නිසයි. මාස්ටර් බෲස්ලිගේ චිත‍්‍රපටයක් නරඹලා සිනමා ශාලාවෙන් එළියට ආවේ හැටකට ගහන්න පුළුවන්නේ කියන ගැම්ම ඇතිවයි. ඒත් ඒක එහෙම නෙවෙයි කියලා හිතුණෙ හැටක් විතර වදින කොටයි. ඔන්න ඉතින් කරාතේ ක‍්‍රීඩාව ප‍්‍රගුණ කරන්න ඕනෑය කියන සිතිවිල්ලට මුල්තැන දුන්නෙ ඒ විදියටයි. හැබැයි රඟපාන්නට නෙවෙයි ආසාව තිබුණෙ.

 

එහෙනම්? මොනවටද?

කරාතේ ක‍්‍රීඩාව හොඳට ප‍්‍රගුණ කරලා, හොඳ මාස්ටර් කෙනෙක් වෙලා, පංතියක් කරගෙන ඉන්නයි මට ඕනෑ වුණේ. ඇයි කරාතේ ක‍්‍රීඩාවටම හිත ගියේ? අවුරුදු හය හත වෙද්දී දුවන පනින මලල ක‍්‍රීඩා ඔක්කොම කරන්න පටන් ගත්තා. එච්චරටම කඩිසරකමක් තිබුණෙ ආත්මාරක්ෂක සටන් ක‍්‍රම ඉගෙන ගන්න අයියා තමයි මාව පංතියකට යැව්වේ. හැබැයි ඒ හින්දම ගෙදරින් ගුටි කෑවෙත් අයියාමයි. ”උඹ තමයි කොල්ලව කන්නේ” කියලා අයියා බැණුම් ඇහුවා. මොකද කිව්වොත් එක්තරා තරගයකදී මට සටන් කරන්න වුණේ මට වඩා අඩි දෙක හමාරක් විතර උස දැවැන්තයෙක් එක්කයි. මිනිහා ගහපු පාරට මාව උඩ වීසිවෙලා බිමට වැටුණා. මට සිහිය නැතුව හිටියලූ. මේ විදියට කාලය ගෙවී යද්දී අයියා වේදිකා නාට්‍යයක් කළා. එහි චරිතයකට මාවත් තෝරා ගත්තා. ඉන් පසුව රංග වැඩමුළු ආදියට ගිහින් බොහෝ දේ ගැන ඉගෙන ගත්තා. හදාරන්න උත්සාහ ගත්තා.

 

සිනමාවට ආවේ?

දවසක් දා අයියා එයා දන්නා සටන් අධ්‍යක්ෂවරයකු ළඟට මාව එක්කගෙන ගියා. එයාගෙ නම සරත් සිල්වා. එයාගෙ සද්දන්ත පෙනුම දැක්කාම මට බැහැ අයියේ කියලා මම අයියට කිව්වා. අයියගෙ දිරි ගැන්වීම නිසා සටන් ජවනිකා චරිතයකට මුලින්ම දායක වෙන්න අවස්ථාව ලැබුණා.

පළමු චිත‍්‍රපටයෙ දර්ශනය කවදාවත් මට අමතක වෙන්නෙත් නැහැ.

ඒ චිත‍්‍රපටය තිරගත වෙද්දි තත්පර තිහක වගේ පුංචි කොටසක් තිබුණෙ. නමුත් චිත‍්‍රපට නළුවකු වීමට ලොකු ආසාවක් ඇති වුණේ එය නැරඹූ පසුවයි. මේ විදියට කාගෙන ඉස්සරහට ආවා. සමහර දිනවල මුළු දවසම රස්තියාදු වෙලත් පුංචි විනාඩි කීපයක ෆයිට් ජවනිකාවක් විතරයි ලැබුණෙ. නමුත් සැලූණේ නැහැ. හොලිවුඞ් බොලිවුඞ් කොලිවුඞ් චිත‍්‍රපට නරඹන්න තව තවත් හදාරන්න පටන් ගත්තා. ඒ අතරේදි කරාතේ කළු පටි දක්වා ප‍්‍රගුණ කළා. මේ අතෙර්දී ටෙඞී විද්‍යාලංකාර නමැති අපූරු සටන් කලාකරුවා, ප‍්‍රවීණයා හමුවීම මට ලොකු ශක්තියක් වුණා.

චිත‍්‍රපටයක් රූගත කිරීමකදී අඩි තිහක විතර උස කොන්ක‍්‍රීට් ගල් තලාවකින් පෙරළී යන දර්ශනයක පෙනී සිටින්න සිදු වුණා. මම ඒක කිසිදු සිරුරු ආවරණයක් නැතිව කළා. ෂාහ් මරුනෙ කියලා. ටෙඞී ඇතුළු පිරිස මාව ධෛර්යවත් කළා. පසුව ටෙඞී මහතාගේ මඟ පෙන්වීම මත ”බ්ලඞ්ස්පොට්” (ඊකදදා ීචදඑ* ඇතුළු ජාත්‍යන්තර චිත‍්‍රපට කීපයකටම දායකත්වය ලබා දෙන්න පුළුවන් වුණා.

 

ඊටත් අමතරව වෙනත් විදේශීය චිත‍්‍රපට කීපයකටම දායකත්වය ලබා දුන්නා නේද?

ජර්මන්, ඉතාලි, පාකිස්ථාන, ඉන්දියානු සහ බටහිර චිත‍්‍රපට කීපයකට දායකත්වය දෙන්න අවස්ථාව හිමිවුණා. ටෙඞී විද්‍යාලංකාර මහතා තමයි ඒ අංශයේදී ලොකුම ශක්තිය වුණේ.

 

සිනමා ”සටන් නළු” කියන දේ ඔබ දකින්නේ කොහොමද?

ඇත්තටම වත්මන වනවිට සිනමාවේ සටන් අධ්‍යක්ෂණයට ඒමට පෙර බොහෝ දේ ගැන මම ප‍්‍රගුණ කරමින් අත්හදා බැලීම් කරමින්, කලාවක් හැටියට එය දියුණු කරන විදිය ගැන හිතන්න පටන් ගත්තා. ඒ සෙවුම් බැලූම් අවසානයෙ බොහෝ අවස්ථා මට ලැබුණෙ. එහිදී සුනිල් සෝම පීරිස් සහ එතුමාගේ පුතු සුදේශ් වසන්ත පීරිස් මෙන්ම සුනිල් ටී. ප‍්‍රනාන්දු දැවැන්තයා වෙතින් ලැබුණ සහයෝගය ඉතා ගෞරවයෙන් සිහිපත් කරන්නට ඕනෑ.

 

සටන් නළුවා ”රන් සයුර” හරහා පේ‍්‍රමවන්තයකු වුණේ කොහොමද?

වතාවක් මම අසනීපවෙලා රෝහලේ සිටියදී සුදේශ් මාව බලන්නට ආවා. මම මේ අදහස කීවාම හරි හරි ඉස්සෙල්ලා උඹ සනීපවෙලා වරෙංකො කීවා. ඉස්සර වැඩිපුරම බයිස්කෝප් නැරඹුවේ ධීවර ජනයායි. මේ කතාව ධීවර ජනායගේ කතාවක් ලෙස ගෙන මේ නිර්මාණය කරන්න පුළුවන් වුණා. එය එළියට දුන්න විශාල පිරිසකගේ සහයෝගය ලැබුණා. එය සිහිපත් කළ යුතුමයි.

 

මේ සටන්කාමී චරිතය ගෙදරදි කොහොම කෙනෙක්ද?

මගේ පිචර් පිස්සුව හරහා සිනමාවේ බොහෝ සෙවුම් බැලූම් කරමින් දුර ගමනක් යන්න මට අවකාශය නිදහස ලබා දෙන්නෙ මගේ ලස්සන බිරිඳ සහ දරු දෙදෙනායි. අයාලේ ජීවිතය නොගෙවා ජීවිතයට අරුතක් ගෙන දෙන්න ඒ නිසා මට හැකිවෙලා තියෙනවා. කලාව මගේ අධ්‍යාත්මය නම් ජීවිතය මගේ ගෙදරයි. ආදරය ගෞරවය සෙනෙහස පිරි ලෝකය තියෙන්නේ එතැනයි.

 

සටහන/ඡායාරූප - සඳුන් ගමගේ

 

2017-02-23-ent-38