(සජීවා කෝට්ටගොඩ)

වයඹ ව්‍යාපෘතියේ ඓතිහාසික යාපහුව රාජධානිය ආශ්‍රිතව සිදු කළ නවතම කැණීම්වලදී අතීත ලංකාවේ වෙනත් කිසිදු ස්ථානයකින් මෙතෙක් හමු වී නොමැති ආකාරයේ අපූර්ව භූගත මැටි නළ පද්ධතියක කොටස් අනාවරණය කරගෙන තිබේ.

මෙහිදී සාමාන්‍ය ජනයාගේ ජනාවාස පිළිබඳ ඉතා වැදගත් සාක්ෂි රැසක් අනාවරණය කර ගැනීමට පර්යේෂකයෝ සමත්ව සිටිති.

කැණීම් කණ්ඩායම විසින් කරන ලද සුවිශේෂීම සහ ආශ්චර්යමත් සොයාගැනීම වන්නේ, නළ එකට එකක් ආසන්නේ මැටි නළ පද්ධති දෙකක් හමුවේ තිබේ. මෙම පද්ධතිය හරහා දහතුන් වන සියවසේ තිබූ නිෂ්පාදන තාක්ෂණය පිළිබඳව ඉඟි දැනට හමුවී ඇති බවද පුරාව පුරාවිද්‍යාභූමිය කැණීම් කරන පර්යේෂකයෝ සඳහන් කරති.

පිටත නගරයේ කැණීම්වලින් බටහිර කලාපයේ මෙම භූගත නල පද්ධතිය මගින් කිසියම් ද්‍රාවණයක් රැගෙන ගොස් ඇති බවට තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

එකම ව්‍යුහයක් තුළ එකිනෙකට සමාන්තරව ප්‍රතිවිරුද්ධ දිශාවකට දිවෙන වෙනස් භූගත මැටි නළ පද්ධතිය බවයි ඔවුහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මීට පෙර යාපහුවෙන් හමු වූ විදේශීය කාසි මගින් රාජධානිය පැවැති කාලයේ ජාත්‍යන්තර වෙළඳ සබඳතා පැවැති බව තහවුරු වූ අතර, මෙම නව නාගරික නළ පද්ධති සොයාගැනීම මගින් ශ්‍රී ලංකාවේ සාමාජීය, තාක්ෂණික සහ නාගරික ඉතිහාසය පිළිබඳ වඩාත් ගැඹුරු හා පුළුල් අවබෝධයක් ලබාගැනීමට මගපාදයි.

මෙරට පුරාවිද්‍යාත්මක සොයාගැනීම්වලදී බහුලවම හමු වී ඇත්තේ භික්ෂූන් වහන්සේලා වැඩවිසූ ආරාම සංකීර්ණ සහ රජවරුන් පරිහරණය කළ රාජමාලිගා වුවද, මෙම අලුත්ම සොයාගැනීම් මගින් මෙරට මධ්‍යතන යුගයේ සාමාන්‍ය ජනජීවිතය පැවති ආකාර පිළිබදව අවස්ථා නිරූපණය වනු ඇතැයි ද පැවසේ.

මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් 2025 වසරේදී මධ්‍යම සංස්කෘතික අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය නිලාන් කුරේ මහතාගේ මග පෙන්වීම යටතේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ වයඹ පුරාවිද්‍යා අධ්‍යක්ෂක මහාචාර්ය මංගල කටුගම්පොළ මහතාගේ මෙහෙයවීමෙන් මෙම පුරාවිද්‍යාත්මක කැණීම් ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී.

පුරාවිද්‍යා නිලධාරි ඉන්දික වෙරළගේ මහතා විසින් කැණීම් භූමියේ කටයුතු සිදු කරනු ලබන අතර මධ්‍යම සංස්කෘතික අරමුදලේ වයඹ ව්‍යාපෘති කළමනාකරු සජිත් නුවන් වනසිංහ මහතා විසින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි.