ක‍්‍රිස්තු පූර්ව 700 සිට 300 දක්වා වන මූල ඓතිහාසික යුගයට අයත් යැයි සැලැකෙන මෙගලිතික සුසාන භූමියක් පලුගස්වැව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉහළ කලවැල්ලා උල්පත මහා වන මැදින් සොයා ගත් බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරි ව්‍යපෘති කාර්යාලයය කියයි. ප‍්‍රභූවරුන් මිහිදන් කළැයි අනුමාන කළ හැකි සාධක එහි ඇතැයි ද ඒ අවට බෝධිඝර, විහාරාරාම, ඝන්ඨාර කුලූනු ආදී නටඹුන් පවතින ස්ථාන 20ක් පමණ ඇතැයි පුරාවිද්‍යාඥයෝ කියති. අඩි දෙකෙන් දෙකක පරතරයක් ඇතිව ද අඩි 10-15 පරතරයක් ඇතිව ද සොහොන් හමුවී ඇත. එකම සොහොනක දෙපැත්තේ පියන් දෙකක ඇති ගල් මංජුසා ද සොයාගන ඇත. ඒ සොහොන් සමීප නෑයන් දෙදෙනකුගේ යැයි අනුමාන කැරේ. දඹුල්ල හබරණ මාර්ගයේ දිගම්පතහ වායාඋල්පත මාර්ගයේ ඝන කැලෑවක් මැදින් සැතැපුම් පහක් ට‍්‍රැක්ටරයෙන් ගමන් කළ විට මෙම පෙදෙස ට පිවිසිය හැකිය. දඹුල්ලේ ඉබ්බන්කටුවෙන් මීට පෙර සොයාගත් ගල් සොහොන් හි ගල්මැද තුබූ බව පෙනන නමුත් කලවැල්ලා උල්පත ගල් ඉතාම රළු බව පුරාවිද්‍යාඥයෝ පවසති. මල්වතුඔය ආරම්භය රිටිගල යැයි මෙතෙක් සිතා සිටියත් එහි ආරම්භය කලවැල්ලා උල්පත විය හැකි බව ද ඔවුහු කියති. කැලයට ගිය කෙනකුගෙන්  ලද තොරතුරක් අනුව ගවේෂණයක් කර පසුව මෙහි කැනීම් ආරම්භ කළ බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරි ව්‍යාපෘතිය කියයි. මේ වන විට එම ස්ථානයේ තිබී ගල් සොහොන් 28ක් සොයාගෙන ඇති අතර අළු බඳුන් මැටි මුට්ට හා විවිධ පබළු වර්ග දැනට හමුවී තිබේ. ප‍්‍රභූවරුන් මිහිදන් කරන්නට ඇතැයි සිතනුයේ එම පබළු නිසාය. දැනට දඹුල්ල ඉබ්බන්කටුව ප‍්‍රදේශයෙන් හමුවී ඇති සුසාන භූමියෙ ඇති ගල් වලට වඩා පැරැණි ප‍්‍රාථමික යුගයේ සොහොන් කොත් මෙම යුගයේ සොහොන් කොත් මෙම කලවැල්ලා උල්පත සොහොන් භූමියෙන් හමුවී තිබෙන බව එහි කැණීම් නිලධාරිනි සුමිත‍්‍රා බස්නායක මෙනෙවිය ප‍්‍රකාශ කළාය.