(අංජුල මහික වීරරත්න)

විදෙස් මුහුදු සීමා නීතිවිරෝධී ලෙස උල්ලංඝනය කරන හෝ යාත්‍රා නිරීක්ෂණ පද්ධතිය (VMS) හිතාමතා ක්‍රියා විරහිත කරන බවට වරදකරු වන ඕනෑම යාත්‍රාවක නියමුවාට සහ සමස්ත කාර්ය මණ්ඩලයට පවතින නීති රෙගුලාසි යටතේ මාස හයක ධීවර තහනමක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇතැයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවැසීය.

ලබන පෙබරවාරි 1 දින සිට මෙම තහනම ක්‍රියාත්මකය.

නීති විරෝධී, වාර්තාගත නොවූ සහ අක්‍රමවත් (IUU) ධීවර කටයුතු මැඩලීම මෙන්ම මෙරට සමුද්‍ර සම්පත් වලට ජාතික ආරක්ෂාවට සහ ඩොලර් මිලියන ගණනක මුහුදු ආහාර අපනයන වෙළෙඳපොළට එල්ල වී ඇති තර්ජන අවම කිරීම අපේක්ෂා කරමින් මෙම තීරණයට එළඹ තිබේ.

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවැසූයේ ඉතා සුළු පිරිසකගේ නීති විරෝධී ක්‍රියා නිසා මත්ස්‍ය  අපනයන තහනම් පැනවීම වැනි බරපතල ජාත්‍යන්තර ප්‍රතිවිපාකවලට මුහුණ දීමේ අවදානමක් තිබෙන අතර  නැවත වරක් එවැනි දේ සිදුවීම වැලැක්වීම සඳහා මෙම පියවර ගත් බවයි.