(රවින්ද්‍ර ලියනගේ)

කසිප්පු පානය කර මියගිය බව කියන පස් දෙනාගේ සිරුරු හලාවතට රෝහලට යොමුකර පර්චාත් මරණ පරීක්ෂණය සිදුකර එහි වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන්නැයි මාරවිල අතිරේක මහේස්ත්‍රාත් දිනිදු සමරසිංහ මහතා පොලිසියට අද නියෝග කළේය.

කසිප්පු පානය කිරීමෙන් අනතුරුව ඇති වූ රෝගී තත්වය නිසා ඇඹරුම් කම්හලක දෙදෙනකු, වාහන සේවා ස්ථානයක සේවය කළ දෙදෙනකු සහ තඹරවිල ප්‍රදේශයේ පදිංචි අයකුගේ මරණ සම්බන්දයෙන් ස්ථානීය පරික්ෂණයක් සිදු කළ මාරවිල අතිරේක මහේස්ත්‍රාත් දිනිදු සමරසිංහ මහතා පොලිසියට එම නියෝගය කළේය.

වෙන්නප්පුව වයික්කාල තඹරවිල ප්‍රදේශයේ කසිප්පු අලෙවි කරන කතකගෙන් ලබාගත් කසිප්පු පානය කිරීමෙන් අනතුරුව රෝගී වී පස් දෙනකු මිය ගොස් තවත් තිදෙනකු අසාධ්‍ය තත්වයෙන් රෝහල් ගත කර ඇති බව වෙන්නප්පුව පොලිසිය කියයි.

මෙම සිද්ධිය වි ඇත්තේ අද පෙරවරු 6.30 ට පමණ බව පොලිසිය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ ජුඩ් ප්‍රශාත් නිශාන්ත (58), වසන්ත රණසිංහ (53) කෝවිල් සෙල්වම් (28), රංජිත් ප්‍රනාන්දු (60) කේ.එච්.ජයන්ත (56) යන අයලුන්ය.

මියගිය පිරිස වයික්කාල,  තඹරවිල, ඔතානෙගම අනුරාධපුර, ඩයනගම හැටන්, පැල්මඩුල්ල රත්නපුර, මාපලගම යන ප්‍රදේශවල පදිංචි කරුවන් බවට හදුනා ගෙන ඇත.