2021 වසරේ කුමන්ත්‍රණයකින් මියන්මාර හමුදාව විසින් නොබෙල් ත්‍යාගලාභී අවුන් සාන් සූ කීගේ ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ රජය පෙරළා දැමීමෙන් පසු මියන්මාරයේ පැවැත්වෙන පළමු මහ මැතිවරණයේ ඡන්ද විමසීම අද (28) දින ආරම්භ කර තිබේ.

දැඩි ලෙස සීමා කරන ලද මැතිවරණය, අග්නිදිග ආසියානු ජාතියේ නගර 330 න් තුනෙන් එකක පමණ පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මූලික අදියරෙන් පසුව, ජනවාරි 11 සහ ජනවාරි 25 යන දිනවල ඡන්ද විමසීම් වට දෙකක් පැවැත්වෙන අතර, නගර 65 ක ඡන්දය අවලංගු කර ඇති බවද වාර්තා වේ.

මියන්මාරයේ ප්‍රධාන දේශපාලන පක්ෂ විසුරුවා හැර, දේශපාලන නායකයින් බොහෝ දෙනෙකු සිරගත කර ඇති පසුබිමක සහ අඛණ්ඩ සිවිල් යුද්ධයක් පවතින තත්වයකදී මෙම මැතිවරණය පැවැත්වෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

(අන්තර්ජාලය ඇසුරෙන් හසිනි නවෝද්‍යා)