(අංජුල මහික වීරරත්න)

බිස්කට්, අයිස් ක්‍රීම්, චොක්ලට් ඇතුළු රස කැවිලි නිෂ්පාදන මිල ලබන මැයි මාසය දක්වා වැඩි නොකරන බවට ලංකා රස කැවිලි හිමියන්ගේ සංගමය වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාට සහතික විය.

එම සංගමයේ නියෝජිතයන් සහ  අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවකදී මේ බව අනාවරණය කෙරිණි

මැද පෙරදිග කලාපීය යුද ගැටුම් හමුවේ බිස්කට් ඇතුළු රස කැවිලි නිෂ්පාදන කර්මාන්තයට ඇති කර තිබෙන බලපෑම් සහ එය කළමනාකරණයට එම කර්මාන්තකරුවන් ගන්නා තීරණ පාරිභෝගිකයාට බලපාන ආකාරය සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට වෙළෙඳ අමාත්‍යවරයා විසින් මෙම හමුව කැඳවා තිබුණි.

පාරිභෝජන භාණ්ඩ මිල ඉහළ යාම මේ මොහොතේ පාරිභෝගිකයාට දරා ගත නොහැකි බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

මැයි මාසයෙන් පසුව තවදුරටත් ගෑස් මිල, විදුලි බිල  සහ අමුද්‍රව්‍ය මිල ඉහළ ගියහොත් පමණක් යම් මිල සංශෝධනයකට යොමුවන බව ලංකා රස කැවිලි හිමිකරුවන්ගේ සංගමයේ සභාපති එස්.එම්.ඩී. සූරියකුමාර මහතා මෙහිදී  පැවසීය.