(සුජිත් හේවාජුලිගේ)

දිවයින පුරා සියලු බන්ධනාගාරවල ප්‍රධානීන් හදිසි රැස්වීමක් සඳහා කොළඔට හෙට (08) කැඳවා ඇත.

මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ තත්වය ගැන සාකච්ඡා කිරීම සඳහා මෙම රැස්වීම කැඳවා අැතැයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවැසීය.

එමෙන්ම අනෙකුත් බන්ධනාගාරවල මෙවැනි ගැටලුකාරී තත්වයක් උද්ගත වීම වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගැනීම සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝව සාකච්ඡා කිරීමට නියමිත බව නානායක්කාර මහතා සඳහන් කළේය.

බන්ධනාගාරවල තදබදය සහ රැදවියන්ගේ ගැටලු පිළිබදවද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.

බන්ධනාගාරවල රඳවා තැබිය හැකි සම්මත රැඳවියන් සංඛ්‍යාව 11,000කට ආසන්න වුවද, දැනට එ්වායේ රැඳවියෝ 40,000කට අාසන්න පිරිසක් රඳවා සිටිති.

මීගමුව බන්ධනාගාරයේ නියමිත ධාරිතාව 650ක් වුවද එහි රැඳවියන් 2600කට ආසන්න පිරිසක් රඳවා සිටින බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා මහතා පවසයි.

බන්ධනාගාරවල ධාරිතාව ඉක්මවා රැඳවියන් සිටින විට එවැනි නොසන්සුන්තා ඇතිවන බවට විවිධ කොමිෂන් වාර්තාවල සඳහන් වුවද, ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගෙන නොතිබූ බවද ඔහු චෝදනා කළේය.

රට පුරා ප්‍රධාන බන්ධනාගාර සහ අනුබද්ධ බන්ධනාගාර 28 ක් පවතී.