(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාව සඳහා විස්තීරණ ජාතික බුද්ධිමය දේපළ ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

වර්තමානයේ 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත යටතේ බුද්ධිමය දේපළ ආරක්ෂා කිරීම සඳහා විස්තීරණ නෛතික රාමුවක් සපයනු ලබයි. එසේ වුවද, මෙරට බුද්ධිමය දේපළ පද්ධතිය තුළ ඇතැම් ව්‍යුහාත්මක හා මෙහෙයුම් අභියෝග පවතින බව නිරීක්ෂණය කරනු ලැබ තිබේ. 

එමෙන්ම, ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයට අමතරව අමාත්‍යාංශ හා රාජ්‍ය ආයතන කිහිපයක් විසින් බුද්ධිමය දේපළ පද්ධතිය තුළ අනුපූරක භූමිකා ඉටු කරනු ලැබුවද, එම ආයතන අතර මනා සම්බන්ධීකරණයක් නොමැති බව නිරීක්ෂණය වී ඇත. 

එබැවින්, පැහැදිලි උපායමාර්ගික දිශානතියක් සැපයීම සහ ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපළ සඵලව සංවර්ධනය කිරීම හා උපයෝජනය කිරීම පිණිස ජාතික බුද්ධිමය දේපළ ප්‍රතිපත්තියක අවශ්‍යතාව හඳුනා ගනු ලැබ තිබේ. එවැනි ප්‍රතිපත්තියක් මඟින් ජාත්‍යන්තර යහ පරිචයන් කෙරෙහි නිසි සැලකිල්ලක් දැක්වීම, ජාතික අභිලාෂයන් සුරක්ෂිත කිරීම, උචිත ප්‍රතිපත්තිමය අවකාශය සංරක්ෂණය කිරීම නවෝත්පාදනය, දැනුම, ප්‍රචාරණය සහ මහජන සුබ සිද්ධිය ප්‍රවර්ධනය කිරීම, ඇතුළුව දේශීය ප්‍රමුඛතා ඉටු කිරීම සඳහා අවකාශය සැලසීම අපේක්ෂා කෙරේ. 

එකී කරුණු සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකාව සඳහා විස්තීරණ ජාතික බුද්ධිමය දේපළ ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම පිණිස වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.