
(යොහාන් භාසුර)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ අද (3) පස්වරුවේ පැවති සාකච්ඡාව සාර්ථක වීම නිසා පාසල් සංවර්ධන නිලධාරීන් දින නවයක් ක්‍රියාත්මක කළ මාරාන්තික උපවාසය තාවකාලිකව අත්හිටුවූ බව ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය අද පස්වරුවේ පැවසීය.
අත්තනෝමතික ලෙස සංවර්ධන නිලධාරීන් ආයතනගත කිරීම නතර කිරීම, ආයතනගතවීමකින් තොරව දීර්ඝකාලීනව පාසල් පද්ධතියේ රැඳීමට හැකියාව ලැබීම සහ පාසල්වල වසර 7ක් ගුරුවරු ලෙස කටයුතු කළ පාසල් සංවර්ධන ගුරුවරු ගුරු සේවයට ඇතුළත්වීමට අවශ්‍ය ක්‍රමවේදය නිර්මාණය කිරීම යන කරුණුවලට ජනාධිපතිවරයා එකඟ වූ බව ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ ලේකම් විරාජ් මනරංග මහතා කීය.
ජනාධිපතිවරයාගේ එකඟතාවය එම සංගමය විශ්වාස කරන බවත් එම එකඟතාවන් බිඳවැටුණොත් දැවැන්ත ක්‍රියාමාර්ගවලට යෑමට කිසිදු අවස්ථාවක පසුබට නොවන බවත් මනරංග මහතා වැඩි දුරටත් කීය.
වසර 7ක පමණ කාලයක් පාසල්වල ගුරුවරු ලෙස සේවය කළ එම සංගමයේ සාමාජිකයන් කඩිනමින් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන්නැයි ඉල්ලා ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය දින 9ක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උපවාසයේ නිරතවිය. මාරාන්තික උපවාසයට එක්ව සිටි සංවර්ධන නිලධාරීන් හත්දෙනාගෙන් හය දෙනෙකුගේ සෞඛ්‍ය තත්වය අයහපත්වීම හේතුවෙන් අවස්ථා කිහිපයකදී රෝහල්ගත කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd