(සුමිත් පොතුපිටිය සහ තුසිත කුමාර ද සිල්වා) 

පොලිසිය පැමිණිල්ල විභාග කිරීමට ප්‍රමාදවූ බව කියමින් පුද්ගලයකු ඊයේ (18) පෙරවරුවේ  අඩි 70 ක් උස පොල් ගසක් උඩ විරෝධතාවක් ආරම්භ කරන ලදී.

මෙසේ විරෝධතාව ආරම්භ කරන ලද්දේ පයාගල මදිනකන්ද ප්‍රදේශයේ 53 හැවිරිදි පුද්ගලයෙකි.

විරෝධය ආරම්භ කල පුද්ගලයා පෙරේදා (17) රාත්‍රි තවත්  පුද්ගලයකු සමග ගැටුමක් ඇතිකරගෙන ඇති අතර, ඔහු ඒ බව සදහන් කරමින් පයාගල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව පහරදුන් බව කියන පුද්ගලයා අත්අඩංගුවට නොගන්නා බව සදහන් කරමින් ඊයේ (18) පෙරවරුවේ  පොලිසිය ආසන්නයේ යාබද නිවසක පොල්ගසකට නැග විරෝධය පළකර තිබේ. ඉන්පසු පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගත්බව විරෝධය පළකරන පුද්ගලයා බිරිඳ පැවසීය .

විරෝධය පළකරන පුද්ගලයාගේ බිරිඳ සහ සොහොයුරියක ගස යට රැඳී සිටිමින් බහින ලෙස ආයාචනා කරමින් සිටී.

මේ පිළිබඳ විමසීමේදී පොලිසිය සදහන් කලේ විරෝධය පලකරන පුද්ගලයාට පහරදුන් බව කියන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවත්, විරෝධය පළකරන පුද්ගලයා ගසෙන් බැස පැමිණිල්ල විභාග කිරීමට පැමිණිය යුතු බවයි.

එමෙන්ම විරෝධය පළකරන පුද්ගලයා සියදිවි නසාගැනීමට තැත් කිරීමට එරෙහිව අධිකරණය හමුවේ නඩු පවරන බවද පොලිසිය සදහන් කරයි.

ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාර ජයසේකර මහතා ගේ ප්‍රධානත්වයෙන් විවිධ පැමිණිලි අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් කුමාර මහතා ගේ ප්‍රධානත්වයෙන්  පරීක්ෂණ පවත්වති .