(සුජිත් හේවාජුලිගේ)

නරක අධිකරණ පද්ධතියක් මඟින්ද  රටක් විනාශ විය හැකි බව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා පැවැසීය

අගවිනිසුරුවරයා මේ බව පැවසුවේ, ඊයේ (02) කොළඹ දී පැවති උත්සවයකදීය

අගවිනිසුරුවරයා මෙසේද කීය

“පරමාධිපත්‍යයට ප්‍රධාන කොටස් හතරක් තියනවා. ව්‍යවස්ථාදායක බලය, විධායක බලය, අධිකරණ බලය සහ ඡන්ද බලයයි. එහිදී අප අයත් වන්නේ තුන්වැන්නටයි. එනම් ජනතාවගේ අධිකරණ බලයටයි. එබැවින් විනිසුරුවරයෙකු ලෙස ඔබ විනිශ්චය ආසනයේ සිට ක්‍රියාත්මක කරන්නේ කුමන බලයක්ද? ජනතාවගේ අධිකරණ බලයයි.

ඔබ ඒ බලය ඔබේ නිවසින් රැගෙන එන්නේ නැත. අප ඔබට බලය ලබා දෙන්නේද නැත. ඔබට බලය ලබා දෙන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාව නොවේ. එසේ නම් ඔබට බලය ලබා දෙන්නේ කවුද? ජනතාවයි. ඒ කාගේ යහපත සඳහාද? ජනතාවගේ යහපත සඳහායි. එය සැමවිටම මතකයේ තබා ගත යුතුය. එබැවින් අධිකරණයේ ස්වාධීනත්වයද අයිති වන්නේ ජනතාවටයි.

අධිකරණයේ ස්වාධීනත්වය ඔබ තුළ සුරැකිය යුත්තේ ජනතාව වෙනුවෙනි.