(අංජුල මහික වීරරත්න)

පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුක්තව “A Team – Next Wave” (විශිෂ්ඨයන්ගේ  කණ්ඩායම - ඊළඟ රැල්ල)  නමින් නව දේශපාලන වේදිකාවක් නිර්මාණය කර තිබේ.

පාර්ලිමේන්තුවේ මෙන්ම ඉන් බැහැර සිටින විපක්ෂයේ ක්‍රියාකාරීන් ඒකාබද්ධ කිරීමේ අරමුණින් මෙම නව වැඩසටහන අරඹා ඇත.

විපක්ෂ මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන, අනුරාධ ජයරත්න, ඩී. වී. චානක සහ චානක මදුගොඩ  මහත්වරු මෙම නව දේශපාලන වේදිකාව නිල වශයෙන් ඇරැඹූහ.

 පාර්ලිමේන්තුවේ නිසි නියෝජනයක් නොලැබෙන  දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් මෙන්ම පුද්ගලයන් වෙනුවෙන් ශක්තිමත් හඬක් නැඟීම මෙම නව දේශපාලන වේදිකාවේ ප්‍රධානතම අරමුණ බව නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

එමෙන්ම, ජාතික මට්ටමේ වැදගත් ගැටලුවලදී ජනතාවගේ සැබෑ හඬ බලධාරීන් වෙත රැගෙන යාම සඳහා දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් මෙන්ම පාර්ලිමේන්තු නියෝජනයක් නොමැති අනෙකුත් දේශපාලන කණ්ඩායම් සමඟ ද අත්වැල් බැඳගෙන මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන බව රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

පුළුල් දේශපාලන සන්ධානයක් ගොඩනැඟීම වෙනුවෙන්, විවිධ විපක්ෂ කණ්ඩායම් සහ ස්වාධීන කණ්ඩායම්වල නියෝජිතයන් එකම වහලක් යටට කැඳවීම මෙම ව්‍යාපාරයේ අපේක්ෂාව බවද නාමල් රාජපක්ෂ මහතා කීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා කීවේ මෙම වැඩපිළිවෙළේ දිගුකාලීන අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ අනාගතය බාරගත හැකි "ඊළඟ ජාතික කණ්ඩායම" (Next National Team) ලෙස ශක්තිමත්, එක්සත් විපක්ෂ බලවේගයක් රටේ නිර්මාණය කිරීම බවයි.