(රෝෂන් තුෂාර)

නිවෙසේ සිටින සේවකයන් ඉදිරියේදී දරුවන් බලාගන්නා කාන්තාවක නිරුවත් කර එම වීඩියෝ  සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයා  කළේ යැයි අත්අඩංගුවට ගත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා ඇතුළු තිදෙනා ලබන 02 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහාරච්චි මහතා (19) නියෝග කළේය.

සැකකරුවන් හික්කඩුව ප්‍රදේශයේ හෝටලයක සැඟව සිටියදී  ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

රබර් කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වූ බොරැල්ල පදිංචි මොහොමඩ් කමර්ඩීන් සස්මි, සාක්ෂි වසන් කිරීම සහ සැකකරුට ආධාර අනුබල දුන් බව කියන ඇහැලියගොඩ  මොහොමඩ් රසීඩ් හා මොහොමඩ් හනිපා සැකකරුවන් මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පොලිස් නීති කොට්ඨාසයේ අධ්‍යක්ෂ , සහකාර පොලිස් අධිකාරී නීතිඥ වසන්ත පිටිය කුඹුර මහතා කරුණු දක්වමින් කියා සිටියේ 43 හැවිරිදි පළමු සැකකරු තම දරුවන් බලා ගත් සේවිකාවට මරණීය තර්ජනය කර අමානුෂික ලිංගික හිංසන සිදුකර එය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමට එරෙහිව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවය.

මෙම වීඩියෝ පටය සමාජ මාධ්‍ය ඔස්සේ මහත් කැළඹීමක් සිදුකළ බවත් ,සැකකරු විසින් මෙවන් ආකාරයේ ලිංගික හිංසන තවත් කාන්තාවන් කීපයකට කර ඇති බවට කරුණු අනාවරණය වන බවද පැවසීය.

මෙම හිංසන ක්‍රියා වීඩියෝ ගත කළේ යැයි සැක කෙරෙන සැකකරුගේ ජංගම දුරකථන හා අයිපෑඩ් අත්අඩංගුවට ගෙන තිබුණද එහි මුර පද ලබාදීම සැකකරු විසින් මේ දක්වා ප්‍රතික්ෂේප කර ඇති බවද පැවසීය.

සැකකරු මෙම සිද්ධිය තවත් පිරිස් ඉදිරියේ සිදුකර ඇති බවත්,සිද්ධියට සම්බන්ධව සාක්ෂිකරුවන් ඔහුගේම සේවකයින් වන බවත් ඒ අනුව සැකකරුට ඇප ලබාදීමට තරයේ  විරුද්ධ වන බවත් පැවසීය.

අදාල  කාන්තාව අනේ සර් වඳින්නම් මේ දේ කරන්න එපා කියා  ආයාචනය කරමින් සිටියදීත් මෙම ක්‍රියාව සාහසික අන්දමින් සිදු කරන බවත් සැකකරු හික්කඩුව හෝටලයක සැඟව සිටි බැවින් අත්අඩංගුවට ගැනීමට අපහසු වූ බවත් පැවසීය.සැකකරු මුස්ලිම් ජාතිකයකු වන අතර වින්දිත තැනැත්තිය සිංහල කාන්තාවක බවද සඳහන්  කළේය.

සැකකරු වෙනුවෙන් නීතිඥ බන්දුල දිසානායක මහතා කරුණු දක්වමින් කියා සිටියේ මෙම අත්අඩංගුවට ගැනීම හුදු සැකයක් මත පමණක් සිදුකර ඇති බවය.

අදාළ සිදුවීම බලහත්කාරයෙන් නොව  කැමැත්තෙන් සිදුව ඇති බවත් පැවසීය.දරුවන් බලා ගන්නා තැනැත්තිය සිය හාම්පුතාට කිසිත් නොකියාම ගෙදරින් ගොස් ඇති බවත්,ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු බැවින් මෙම කුමන්ත්‍රණය සිදුකොට ඇතිි බවට හැඟී යන බවත් පැවසීය.

සැකකරු මානසික රෝගියෙකු වන අතර ඔහු ජාතික රෝහලේ 59 වන වාට්ටුවෙන් ප්‍රතිකාර ලබන පුද්ගලයකු බැවින් ,යම් ආතතියක් දරා ගැනීමේ හැකියාවක් සැකකරුට නොමැති බවද ක්ෂණයකින් කේන්ති යන තැනැත්තෙකු බැවින් මුර පද ලබාදීම පසුවට සිදුකරන බවත් පැවසීය.

දෙවෙනි සැකකරු පියාගේ සහෝදරයෙක් බවත් තෙවැනි සැකකරු කිසිත් නොදන්නා පුද්ගලයකු බවත් නීතිඥවරයා වැඩිදුරටත් පැවසීය.

කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා  සැකකරුවන් ලබන 02 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරමින් ප්‍රධාන සැකකරු සම්බන්ධයෙන් මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙසට  බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළේය.

පැමිණිල්ල සම්බන්ධයෙන් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිනි දර්ශිකා කුමාරි මහත්මියගේ උපදෙස් පරිදි විමර්ශන සිදු කෙරේ.