(අංජුල මහික වීරරත්න)

දුගී බව තුරන් කිරීම සඳහා පවුල් ඒකක කේන්ද්‍ර කරගත් ඒකාබද්ධ වැඩපිළිවෙළක් අවශ්‍ය බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ  පූර්ව අයවැය සාකච්ඡාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

ග්‍රාමීය සංවර්ධන,  සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 වසරේ අයවැය යෝජනා පිළිබඳ පූර්ව අයවැය සාකච්ඡාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

සමාජ සුබසාධන ක්‍රමවේදයන් යටතේ ප්‍රතිලාභ ලබන සෑම පවුල් ඒකකයක්ම සැබෑ ලෙසම සවිබල ගැන්වෙන්නේද යන්න මැනිය හැකි විධිමත් මිණුම් ක්‍රමවේදයක් සකස් කර ගනිමින්, ඒ මත පදනම්ව ශක්තිමත් සමාජ ආරක්ෂණ ජාලයක් ගොඩනැගීම රජයේ අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී  ප්‍රකාශ කළේය.

ඒ අනුව විවිධ ආයතන මගින් විසිරි පවතින ප්‍රතිපාදන ඒකාබද්ධ කර, නිෂ්චිතව හඳුනාගත් පවුල් ඒකක ඉලක්ක කරගනිමින් දුගී බව තුරන් කිරීමේ විද්‍යාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේය.

මෙහිදී ප්‍රජා සංවර්ධනය අරමුණු කර ගත් ප්‍රජා ශක්ති වැඩසටහන සහ අනෙකුත් ග්‍රාමීය සංවර්ධන කටයුතු සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන ප්‍රාදේශීය සභා මට්ටමින් ව්‍යාපෘති සඳහා බෙදී ගොස් ඇති ආකාරය සහ එහි වත්මන් ප්‍රගතිය පිළිබඳව ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමු විය.