(අංජුල මහික වීරරත්න)

බන්ධනාගාර ගත වූ ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් මහා නා හිමිවරුන්ගෙන් අදහස් ලබා ගැනීමට අධිකරණ අමාත්‍යාංශයට යුතුකමක් තිබූ බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මාධ්‍ය හමුවකදී අද(8) පැවසීය.

කළ යුත්තේ කුමක්දැයි තීරණය කළ යුතු වූයේ එම උපදේශයෙන් අනතුරුව බවද අබේවර්ධන මහතා කීය.

ගලගොඩඅත්තේ ඥාණසාර හිමිගේ සිවුර ඉවත් කර සිරකරු ඇඳුම ඇන්දවීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය අනාවරණය කරමින් කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී එජාප සභාපති වජිර අබේවර්ධන මහතා මෙසේද පැවසීය.

මේ තීරණය මගින් බුද්ධාගමයි, ආගමික නිදහසයි දෙකම අභියෝගයට ලක්වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය සහ 10 වැනි වගන්තිය උල්ලංඝණය කරලා.

ඥාණසාර හිමියන්ට මේ නඩුව ගොනු වුණේ යහපාලන ආණ්ඩු සමයේදීයි. ඒ අවස්ථාවේදී මහනායක හිමිවරුන් උන්වහන්සේට සමාව ඉල්ලා එවකට සිටි ජනාධිපතිවරයාට ලිපියක් යොමු කළා.

ඉන් අනතුරුව තමයි උන්වහන්සේට සමාව දීමට එවකට රජය කටයුතු කළේ. මෙවැනි කටයුත්තකදී නීතිය මගින් ක්‍රියා කල යුතු වුණත් වර්තමානයේදී අදාළ නීති ක්‍රියාත්මක වෙලා නැහැ. මීට පෙර මහනායක හිමිවරුන්ගේ ඉල්ලීම මත උන්වහන්සේට නිදහස ලබාදුන්නා නම් නැවත වරක් එය වෙනස් වන්නේ කෙසේද?

මෙහිදී සාමාන්‍ය නඩු කටයුත්තක් ලෙස ක්‍රියා කළ නොහැකියි. මෙය රටේ මහනායක හිමිවරුන් විසින් කළ ඉල්ලීමක් තිබෙනවා. ආණ්ඩුවට මේ ප්‍රශ්නය පාර්ලිමේන්තුව සමග සාකච්ඡා කර වෙනත් ආකාරයකින් විසඳීමට පවා ඉඩකඩ තිබුණා.

මේ කරුණ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනට පැමිණි පසු නීතිමය පසුබිමද ඇතුළත්ව සවිස්තර ප්‍රකාශයක් කිරීමට බලාපොරොත්තු වෙනවා.