(අංජුල මහික වීරරත්න)

ගාල්ල නගරයේ සියලු රජයේ කාර්යාල එක් පරිපාලන ගොඩනැගිල්ලකට ගෙන ඒමට රජය තීරණය කර තිබේ.

ජනතාවට වඩා පහසුවෙන් සේවා ලබා ගත හැකි අන්දමින් මෙම පියවර ගන්නා බව ප්‍රධාන නගර සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක ගාල්ල නගර සංවර්ධන ව්‍යාපෘතිය කඩිනම් කිරීම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (10) පැවති සාකච්ඡාවකදී අවධාරණය කෙරිණි.

ලෝක උරුමයක් වන ගාල්ල නගරය සංස්කෘතික සහ සංචාරක පුරවරයක් ලෙස සංවර්ධනය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහන්වල ප්‍රගතිය මෙහිදී විමසා බැලූ ජනාධිපතිවරයා එය ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති ගැටලු සහ ඊට ලබා දිය හැකි විසඳුම් පිළිබඳවද සාකච්ඡා කළේය.

මේ යටතේ ගාල්ල නගර මධ්‍යයේ පවතින පොලිස් ස්ථානය, තැපැල් කාර්යාලය, බන්ධනාගාරය සහ හෙද පුහුණු පාසල වෙනත් ස්ථානවල ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය ඉඩම් නිදහස් කර ගැනීම පිළිබඳවද මෙහිදි විශේෂ අවධානය යොමු විය.

විධිමත් නගර සැලැස්මක් තුළ ගාල්ල නගරය සංවර්ධනය කිරිමේ අවශ්‍යතාව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා, නගරය සැලසුම් කිරීම, රාජ්‍ය ආයතන ගාල්ල කොටුවෙන් පිටත ස්ථාපනය, ගොඩනැගිලි, මාර්ග ඇතුළු යටිතල පහසුකම් ඉදිකිරීම හා භූමිය උපරිම ඵලදායීතාවකින් සංවර්ධනය සඳහා යොදා ගැනීමේදී සියලු රාජ්‍ය ආයතන ඒකාබද්ධව කටයුතු කිරිමේ වැදගත්කම අවධාරණය කළේය. එහිදී නාගරික සංවර්ධන අධිකාරියට සුවි‌ශේෂී වගකීමක් පැවරෙන බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම, ආයෝජන ගෙන්වා ගැනීම සහ නව ඉදිකිරීම් සඳහා ප්‍රතිපාදන වෙන් කර ගැනීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය. ගාලු කොටුව සහ ඒ ආශ්‍රිත මුහුදු තීරය සංචාරක ආකර්ෂණය දිනාගත් ප්‍රදේශයක් ලෙස සංවර්ධනය කිරීම පිළිබඳවද පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිශාන්ත පෙරේරා, ටී.කේ. ජයසුන්දර, නිශාන්ත සමරවීර, හසාරා ලියනගේ, තිලංක යූ. ගමගේ මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.