(විමුක්ති එස් රුද්‍රිගු)

හමුදාමය ක්‍රියාමාර්ගයකට නොගොස් ග්‍රීන්ලන්තය හෝ ඩෙන්මාර්කය සමග ඇති කරගන්නා ගිවිසුමක් මාර්ගයෙන් ග්‍රීන්ලන්තය ඇමෙරිකාවේ ප්‍රාන්තයක් බවට පත්කර ගැනීමට තමන් කැමැත්තෙන් සිටින බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා නැවත වරක් අවධාරණය කළේය.

එසේ නොහැකි වුවහොත් හමුදා බලය යොදා ගනිමින් ග්‍රීන්ලන්තය ඇමෙරිකාවේ ප්‍රාන්තයක් බවට පත්කර ගන්නා බව ද ඇමෙරිකා ජනාධිපතිවරයා කියා සිටියේය.

ග්‍රීන්ලන්තය ඇමෙරිකාවේ ප්‍රාන්තයක් බවට පත්කර ගැනීමට නොහැකි වුවහොත් රුසියාව හෝ චීනය ග්‍රීන්ලන්තය නතුකර ගැනීමේ අවදානමක් මතුවනු ඇතැයි ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කළේය.

කෙසේ නමුත් ජනපති ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශය චීනය බැහැර කර ඇති අතර චීනය ප්‍රකාශ කර ඇත්තේ එය ජනපති ට්‍රම්ප් ග්‍රීන්ලන්තය අල්ලා ගැනීම සඳහා ඉදිරිපත් කරන නිදහසට කරුණක් බවයි.

ජනපති ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඩෙන්මාරක් අග්‍රාමාත්‍ය මෙට් ෆ්‍රෙඩ්‍රික්සන් ප්‍රකාශ කර ඇත්තේ ග්‍රීන්ලන්තය පිළිබඳව ඩෙන්මාර්කය සහ ඇමෙරිකාව අතර මතුව ඇති අර්බුදය තීරණාත්මක අවධියකට පැමිණ ඇති බවයි.

ග්‍රීන්ලන්තය යනු ඩෙන්මාර්ක රාජධානියට අයත් ස්වයං පාලන ප්‍රදේශයකි.

ඩෙන්මාර්කය යනු විශ්වාසවන්ත මෙන්ම ශක්තිමත් මිතුරකු බවත් තමන්ට වටිනා දේ ආරක්ෂා කර ගැනීමට ඩෙන්මාර්කයට හැකියාව පවතින බවත් අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළාය. ඩෙන්මාර්ක්ය ජාත්‍යන්තර නීතියට මෙන්ම සිය ජනතාවටද ගරු කරන රටක් බවද ඇය පැවැසුවාය. ඇමෙරිකාව සාමාජිකත්වය දරණ නේටෝ සංවිධානයේ රටකට ඇමෙරිකාව ප්‍රහාර එල්ල කිරීම නේටෝ සංවිධානයේ අවසානය වනු ඇතැයිද ඇය ප්‍රකාශ කළාය.

ඩෙන්මාර්ක සහ ග්‍රීන්ලන්ත විදේශ කටයුතු අමාත්‍යවරුන් ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ අද (14) මුණ ගැසීමට නියමිත අතර ඊට පෙර අදහස් දක්වමින් ඩෙන්මාර්ක අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළාය.

ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ චීනයට ග්‍රීන්ලන්තය පිළිබඳ සැලසුමක් තිබෙන බවත් ඊට පෙර ග්‍රීන්ලන්තය ඇමෙරිකාවේ ප්‍රාන්තයක් බවට පත්කර ගත යුතු බවත්ය.