(ටී.කේ.ජී.කපිල )

තුර්කියේ ඉස්තාන්බුල් නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත් වූ තුර්කි ගුවන් යානයක කුරුල්ලෙ ගැටීම නිසා , සිය ගුවන් ගමන අතහැර , යානයෙහි ඉන්ධන සංචිතය , ගොඩබැස්සවීමට සුදුසු මට්ටම තෙක් අඩු වන තෙක් ,පැය 03 විනාඩි 15 ක් මීගමුව කළපුව මුහුදු ප්‍රදේශයේ , පහතින් පහතින් , අඩු වේගයකින් ගමන් කිරීමෙන් පසු සුරක්ෂිතව , යළිත් අද උදෑසන 10.21 කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්ස වූ බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .

මෙම ගුවන් යානය පුළුල් බද සහිත ඒ.- 330 එයාර් බස් වර්ගයේ ගුවන් යානයක් වූ අතර , එහි ගුවන් මගීන් 246 දෙනෙකු සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 10 දෙනෙකු සිටි අතර මෙම යානය තුළ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අධ්‍යක්ෂවරයකු ද විශේෂ අමුත්තෙකු ලෙස ගමන් කරමින් සිටියේය .

අද උදෑසන 07.07 ට තුර්කියේ ඉස්තාන්බුල් නුවර බලා , පැය 06 ක ගුවන් ගමනක් සදහා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත් වූ අතර , ඒ වනවිට මෙම ගුවන් යානය තුළ ඉන්ධන කිලෝ ග්‍රෑම් 80,000 ක් ගබඩා කර තිබුණි .

මෙම ගුවන් යානය පිටත් වීමත් සමගම , කුරුල්ලකු මෙම යානයෙහි ගැටී ඇති අතර , එසැනින් ගුවන් නියමුවා විසින් ඒ පිළිබද , කටුනායක ගුවන් තොටුපොළ දැනුවත් කිරීමට පියවර ගත්තේය.

ගුවන් යානයෙහි වූ මෙම අති විශාල ඉන්ධන සංචිතය සමග යළිත් කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීම ජාත්‍යන්තර ගුවන් ගමන් සංවිධානයේ නවතම නීතිරීතිවලට පටහැනි නිසා , ගුවන් යානය ගොඩබැස්සවීමට සුදුසු ඉන්ධන මට්ටම තෙක් අඩු වන තුරු , මෙම ගුවන් යානය මීගමුව කළපුවට ඉහළ අහසේ වූ මුහුදු ප්‍රදේශයේ අඩි 7,000 ක උසකින් , නොට්ස් 253 ක වේගයෙන් පැය 03 විනාඩි 15 ක කාළයක් රවුම් ගසමින් සිටීමට සිදු වී තිබුණි .

ඒ අතර මෙම ගුවන් යානය හදිසි ගොඩබැස්සවීමකට ( Emergency Landing ) සුදුසු වන පරිදි ගිනි නිවීම් රථ , ගිලන් රථ , වෛද්‍යවරුන් , හෙදියන් , ගලවා ගැනීමේ භටයන් කැදවා කටුනායක ගුවන් තොටුපොළ සූදානම් කර තිබුණි .