(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී ඊයේ(4) පස්වරුවේ සංශෝධන සහිතව සම්මත විය.

ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමනය සඳහා අධිකාරියක් පිහිටුවීමට මින් ප්‍රතිපාදන සැලසේ.

පනත් කෙටුම්පත විවාදය සඳහා ඉදිරිපත් කරමින් අදහස් දැක්වූ මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත නවරත්න මහතා පැවසුවේ ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමනය කිරීම පනත් කෙටුම්පතේ මූලික අරමුණ බවයි.

ක්ෂුද්‍ර මූල්‍ය ණය ගම දක්වා පැතිරීමේදී සමාජ ආර්ථික ගැටලු රැසක් මතුව ඇති හෙයින් එම කටයුතු නියාමනය කිරීමේ අවශ්‍යතාව මතුව තිබෙන බව කී හෙතෙම ණය දෙන ක්‍රමවේදය අද විශාල පරාසයකට විසිරී ඇති බවද ප්‍රකාශ කළේය.

මහ බැංකුවේ යටතේ දැනට ලියාපදිංචි වී ඇත්තේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් හතරක් පමණක් බවත් වැරදි ආකාරයට ක්ෂුද්‍ර මූල්‍ය ණය වැරැදි අාකාරයට නිකුත් කළහොත් නව පනත යටතේ රුපියල් ලක්ෂ පනහක දඩ නියම කළ හැකි බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු විස්සකට වැඩි පිරිසක් විවාදයේදී අදහස් දැක්වූහ