(අංජුල මහික වීරරත්න)

කාන්තාවන් වෙනුවෙන් වැඩිම සේවයක් කළ පක්ෂය එක්සත් ජාතික පක්ෂය බව එජාප මහ ලේකම් තලතා අතුකෝරල මහත්මිය පැවසුවාය.

එබැවින් කාන්තා දිනය සැමරීම සඳහා වැඩිම අයිතියක් තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයට බවද එජාප මහලේකම් වරිය කීවාය.

මහලේකම්වරිය මේ බව කීවේ එක්සත් ලක් වනිතා පෙරමුණ "බොරුව පරදවමු සත්‍ය දිනවමු" තේමාව යටතේ සංවිධානය කළ ජාත්‍යන්තර කාන්තා දින සැමරුමට සහභාගී වෙමිනි.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී අද (08) මෙම සැමරුම පැවැත්විණි.

වර්තමානයේ කාන්තාවන් මුහුණ දී ඇති අසාධාරණයන් සම්බන්ධයෙන් වන පෙත්සමකට අත්සන් තැබීමද මෙහිදී සිදු විය.

එහිදී ජාත්‍යන්තර කාන්තා දින ප්‍රකාශයද එළිදැක්විණි.

හිටපු රාජ්‍ය අමාත්‍ය රෝසි සේනානායක,හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය තුසිතා විජේමාන්න,හිටපු පළාත් සභා මන්ත්‍රි එක්සත් ලක් වනිතා පෙරමුණේ හිටපු සභාපතිනි ශාන්තිනි කෝන්ගහගේ මහත්මීහු ද මීට සහභාගී වූහ.

මේ අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන,උප නායක අකිල විරාජ් කාරියවසම්, හිටපු අමාත්‍ය නවීන් දිසානායක, ආනන්ද කුලරත්න මහත්වරු ද සහභාගී වූහ.