(සුජිත් හේවාජුලිගේ)

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අත්සන් ගැනීම අද ආරම්භ කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු  මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා  පැවසීය.

විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහ ලේකම්වරියට  හෙට භාර දෙන බවද ඔහු සඳහන් කළේය.

කථානායකවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් භාරදීමට  සමගි  ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම පසුගියදා තීරණය කළේය.

මෙම යෝජනාවට චෝදනා පනහක් පමණ ඇතුළත් කෙරෙන බව සමගි  ජන බලවේගය පවසයි. ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට විශ්වාසභංග  යෝජනාවකට වැඩිම චෝදනා සංඛ්‍යාවක් ඇතුළත් කෙරෙන පළමු අවස්ථාව මෙයයි.

විවාදය දින දෙකක් පවත්වන ලෙස පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ඉල්ලීමක් කිරීමට  විපක්ෂය බලාපොරොත්තුවේ.

යෝජනාවට විපක්ෂයේ සියලුම දේශපාලන  පක්ෂ එකඟත්වය පළ කර ඇත.