(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් දහදාස් පන්සීයක් සමඟ අත්අඩංගුවට ගත්  පුද්ගලයකු  රඳවා   ප්‍රශ්න කිරීමේදී එම සැකකරු ඉකුත් සැප්තැම්බර් 04 දා බොරලැස්ගමුව මාලනී බුලත්සිංහල මාවතේ නිවසකට යතුරු පැදියකින් පැමිණ එහි සිටි පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු බවට හඳුනා ගෙන ඇතැයි කොට්ටාව පොලිසියය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොට්ටාව විහාර මාවතේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකු බවත් ඔහු සංවිධානාත්මක අපරාධකරුවකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන "දෙහිවල සැන්ඩ්‍රෝ " නැමැත්තාගේ ගෝලයෙකු බවට හඳුනාගෙන ඇති බවත් පොලිසිය කියයි.

එම වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කොස්මල්ලි නමැත්තාගේ පාර්ශවයේ සමීපතමයකුගේ (පියා) වන සුනිල් ප්‍රනාන්දු නමැති 74 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු නිවසේ රැඳී සිටියදී  යතුරුපැදියකින් පුද්ගලයන් දෙදෙනකු පොලිස් නිලධාරීන් ලෙස පවසමින් පැමිණ එහි පසු පැදිකරු ලෙස කටයුතු කළ පුද්ගලයා පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පලා ගොස් තිබූ පැවසේ.

පසුව වෙඩිතැබීමට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන සිදුකරමින් සිටින අතරතුරදි කොට්ටාව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරි කණ්ඩායමක් කොට්ටාව නුගෙමුල්ල හන්දියෙ සිදු කළ හදිසි මාර්ග බාධකයකදී සැකකරු අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් අතර පසුව සිදුකළ විමර්ශනයෙදී මොහු මාලනී බුලත් සිංහල මාවතේ මනුෂ්‍ය ඝාතනය වෙඩික්කරු බවට කටයුතු කර ඇති බවට හදුනාගෙන තිබේ.