(අංජුල මහික වීරරත්න)

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී වගා ඉඩම් අහිමි වූවන් වෙත වන්දි මුදල් ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියට ඉඩම් අත්කර ගැනීම හේතුවෙන් වගා ඉඩම් අහිමි වූ හාලි ඇළ, වැලිමඩ සහ ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල ගොවි පවුල් 276 ක් සඳහා උමා ඔය පහළ නිම්නයෙන් කෘෂිකාර්මික ඉඩම් ලබා දීමට 2012-06-27 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමෙදී අනුමැතිය ලබා දී ඇත. 

එහෙත්, එලෙස හදුනාගෙන තිබූ ඉඩම් වැඩි ප්‍රමාණයක් අනවසරකරුවන් විසින් අල්ලා ගැනීම, දැඩි වන ගහණය, වන අලි තර්ජනය, මුල් පදිංචි ප්‍රදේශ වලින් දුරස්ථව පිහිටීම සහ වෙනත් පරිසර හා සමාජ විෂමතාවන්ට හැඩ ගැසීමේ දුෂ්කරතා පැවතීම නිසා එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට හැකි වී නොමැත.

එබැවින්, උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී පැන නැගී ඇති ගැටලු නිරාකරණය කිරීම පිණිස නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කරන ලද අමාත්‍ය මණ්ඩල අනු කමිටුව විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශය මත පදනම්ව, එකී ගොවි පවුල් 276 සඳහා එක් පවුලකට රුපියල් ලක්ෂ 12 බැගින් වූ තක්සේරු ගත වන්දි මුදලක් ගෙවීම පිණිස කෘෂිකර්ම, ඉඩම සහ වාරිමාර්ග අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.