(අංජුල මහික වීරරත්න)

සමහර සංස්කෘතීන් වල ඇති කාන්තාවන් පීඩාවට ලක් කරන දේවල් වලින් ඔවුන් නිදහස් කර ගැනීම සඳහා නව නීති සම්පාදනය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර කාන්තා දින සැමරුම අමතමින් අද (8)පැවසීය.

ආණ්ඩුව එම නීති සම්පාදනය කරන්නේ හිතුවක්කාරී ලෙස නොව එම සමාජයේ ප්‍රභූන් යැයි කියා ගන්නා කණ්ඩායම් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව බවද ජනාධිපතිවරයා කීය.

ඇතැම් සංස්කෘතීන් වල සම්ප්‍රදායන් නිසා විශාල ලෙස පීඩාවට ලක් වූ කාන්තා පිරිසක් සිටින බව පැවසූ ජනාධිපතිවරයා සංස්කෘතික ගැටුමක් ඇති නොවන ලෙස මේ සඳහා ඉතා වැදගත් වැඩ පිළිවෙලක් සකසන බව සඳහන් කළේය.

මෙවැනි කාර්යයක් සිදුවන්නේ ජාතික ජන බලවේග ආණ්ඩුවකින් පමණක් බවද ජනාධිපතිවරයා පැවසීය. මාලිගාවත්ත පී.ඩී සිරිසේන ක්‍රීඩාංගනයේදී මෙම කාන්තා දින සැමරුම පැවැත්විණි.