(අංජුල මහික වීරරත්න)

ආහාර පාන වල ප්‍රමිතිය සහ මිල ගණන් නියාමනය පිළිබඳ නිරන්තරව සක්‍රීය ලෙස මැදිහත් වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාරිභෝගික සේවා අධිකාරියට උපදෙස් දුන්නේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 පූර්ව අයවැය සාකච්ඡාවකට අද (14) ජනාධිපති කාර්යාලයේදී එක් වෙමිනි.

අමාත්‍යාංශය යටතේ ඇති දෙපාර්තමේන්තු, ස්වයං-මූල්‍යකරණය මගින් පවත්වාගෙන යනු ලබන ආයතන සහ මහා භාණ්ඩාගාර ප්‍රතිපාදන යටතේ පවත්වාගෙන යන ආයතන 16ක් යටතේ මෙරට ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සහ පාරිභෝගික අයිතීන් සුරැකීම වෙනුවෙන් ක්‍රියාත්මක කරන ලද වැඩසටහන්වල කාර්යසාධනය මෙහිදී පුළුල් ලෙස විමසා බැලිණි.

ලංකාව වැනි කුඩා වෙළෙඳපොළක් තුළ භාණ්ඩ සහ සේවාවන්හි පාලනය හුදු තරගකාරීත්වයක් මත පමණක් සිදු වේ යැයි අපේක්ෂා කළ නොහැකි බැවින් ඒ සඳහා රජය සතුව ශක්තිමත් මිල පාලන යාන්ත්‍රණයක් තිබිය යුතු බවද ජනාධිපතිවරයා මෙහිදී කීය.

ඒ වෙනුවෙන් ලංකා සතොස සහ සමුපකාර ව්‍යාපාරය තවදුරටත් ශක්තිමත් කර එය ප්‍රධාන කොටස්කරුවෙකු ලෙස යොදාගත යුතු බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ගොවීන්ගේ වී සහ ධාන්‍ය වේලා ගැනීම සඳහා සහනදායී පදනමක් මත වියළන යන්ත්‍ර ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන අතර මේ වන විට යන්ත්‍ර 45ක් ගෙන්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙන බවත් අයදුම් කළ ආයතන 65ක් අතුරින් තෝරාගත් ආයතන 45කට එම යන්ත්‍ර ලබා දීමට කටයුතු කරන බවත් සඳහන් කෙරිණි.

දිවයිනේ පළාත් නවයම ආවරණය වන පරිදි තොග බෙදා හැරීමේ මධ්‍යස්ථාන 9ක් ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර කුරුණෑගල සහ මාතර මධ්‍යස්ථානවල ඉදිකිරීම් දැනටමත් අවසන් කර තිබෙන බව සඳහන් කෙරිණි.