
(මනෝප්‍රිය ගුණසේකර)
මහේස්ත්‍රාත්වරුන්ගෙන් සහ දිසා විනිසුරුවරුන්ගෙන් සැදුම්ලත් අධිකරණ සේවා සංගමයේ ලබන 11 වැනිදා පැවැත්වීමට නියමිත විශේෂ මහා සභා රැස්වීමට සහභාගී නොවන ලෙස එහි කනිෂ්ඨ සාමාජිකයින්ට එක්තරා ජ්‍යෙෂ්ට නිලධාරියෙකු පැවසූ බව කියන සිද්ධියක් හේතුවෙන් සංගමය තුළ දැඩි මතභේදාත්මක තත්ත්වයක් උද්ගත වී ඇත.
අධිකරණ සේවා සංගමයේ පැවැත්වීමට නියමිත විශේෂ මහා සභා රැස්වීම කඩාකප්පල් කිරීමට සංගමයේම ඇතැම් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කටයුතු කරන බව කියන සිද්ධියක් මුල් කරගනිමින් මෙම මතභේදකාරී තත්ත්වය ගොඩනැගී ඇත.
විනිසුරුවරුන්ගේ වැටුප් හා දීමනා වැඩි කිරීම සඳහා ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවකදී අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ දැමීම සම්බන්ධයෙන් විරුද්ධතාවයක් නැති බවට අධිකරණ සේවා සංගමයේ සභාපති පසන් අමරසේන මහතා පවසා ඇති බව හෙළි වීමත් සමඟ මීට පෙර අවස්ථාවක සංගමයේ සාමාජිකයින් අතර උණුසුම් තත්වයක් හටගෙන තිබු අතර එහිදී ඇති වු වාද විවාද වලින් අනතුරුව අධිකරණ සේවා සංගමය දෙකට බෙදී ඇතැයි වාර්තා විය.
අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ දැමීම සම්බන්ධයෙන් විරුද්ධතාවයක් නැති බවට අධිකරණ සේවා සංගමයේ සභාපතිවරයා කළ සඳහන සංගමයේ සාමාජිකයින්ගේ නිල මතය නොවන බවට වාර්තාගත කිරීමට ඒ අවස්ථාවේදී විධායක කමිටුව පියවර ගෙන තිබුණි.
විනිසුරුවරුන්ගේ වැටුප් හා දීමනා වැඩි කිරීම සඳහා ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවකදී අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ දැමීම සම්බන්ධයෙන් විරුද්ධතාවයක් නැති බවට සමස්ථ සාමාජිකයින්ගේ අනුමැතියකින් තොරව පැවසීම හේතූ දැන ගැනීම සඳහා විධායත කමිටු රැස්වීමක් කැඳවන ලෙස සාමාජිකයින් විසින් ඉල්ලීම් කිරීම හේතුවෙන් සංගමයේ සභාපති පසන් අමරසේන මහතාගේ මුලිකත්වයෙන් මාර්ගගත ක්‍රමයට විධායක කමිටු රැස්වීම ක් පැවැත්විණි.
එම විධායක කමිටුවේදී ඇතිවූ වාද විවාද හේතුවෙන් සංගයේ සාමාජිකයන් දෙකට බෙදීමේ තත්ත්වය මුල් කරගනිමින් විශේෂ මහා සභා රැස්වීමක් ලබන 11 වැනිදා කොළඹ දිසා අධිකරණයේ පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මෙම විශේෂ මහා සභා රැස්වීම සඳහා සහභාගී වුවහොත් රැකියාවේ ගැටලුකාරී තත්ත්වයක් මතු විය හැකි බව කනිෂ්ඨ මහේස්ත්‍රාත්වරුන්ටත් පෙන්වා දෙමින් විශේෂ මහ සභා රැස්වීමට කනිෂ්ඨ මහේස්ත්‍රාත්වරුන්ගේ පැමිණීම දුර්වල කිරීමට සංගමයේම ඇතැම් ඉහළ නිලධාරීන් කටයුතු කරන බව එහි නිලධාරීහු පෙන්වා දෙති.
අධිකරණ සේවා සංගමයේ රැස්වීම් දිගින් දිගටම පැවැත්වූ කොළඹ දිසා අධිකරණය ඒ සඳහා යොදා ගැනීමට බාධා වන අන්දමේ කටයුතු කිහිපයක්ද සිදුවන බව පෙන්වා දෙන සංගමයේ නිලධාරීහු කනිෂ්ඨ නිලධාරීන්ට ආදර්ශයක් විය යුතු ඇතැම් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු තමන්ගේ පටු අභිමතාර්ථ ඉෂ්ට කර ගැනීම සඳහා කටයුතු කරන බවක් පෙනෙන්නට ඇතැයි ද පෙන්වා දුන්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd