(අංජුල මහික වීරරත්න)

තනි තනිව නොව  සාමුහිකව කටයුතු කරමින් මැදපෙරදිග යුද තත්ත්වය හමුවේ ආර්ථිකයට එල්ල වී ඇති බාහිර අභියෝගය ජය ගනිමු යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

විද්‍යාවේ සහ තාක්ෂණයේ දියුණුව විසින් මේ යුගයේ අත්පත් කරගෙන තිබෙන ආර්ථිකය ශ්‍රී ලංකාව තුළ ගොඩනැගීම වත්මන් රජයේ අරමුණ බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

එම නව ආර්ථික අවස්ථාවලින් උපරිම ප්‍රයෝජන ගනිමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට එක්වන ලෙස සියලු ව්‍යාපාරික ප්‍රජාවට ඇරයුම් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ   කොළඹදී පැවති ලාංකේය ව්‍යවසායකයන්ගේ මණ්ඩලයේ (COYLE) 2026 වාර්ෂික මහා සභා රැස්වීමට එක් වෙමිනි.

‘පරපුරෙන් පරපුරට ශක්තිමත් හෙටක් හදන අදක්’ තේමාව යටතේ මෙවර වාර්ෂික මහා සභා රුස්වීම පැවැත්විණි. 

"අපිට අඛණ්ඩ බලශක්ති සැපයුමක් දැන් සහතික කළ හැකියි. හැබැයි අපි සියලු දෙනාටම එය පුරෝකථනය කළ හැක්කේ උපරිම මාස දෙකක් සඳහා පමණයි. මාස 02කට වඩා මේ යුද්ධය පැවතියහොත් අපේ 
පුරෝකථනවලින් තේරුමක් නැහැ. 

මේ යුගය තාක්ෂණය සහ විද්‍යාව විසින් යුද්ධයට මහා බලයක් නිර්මාණය කර දී තිබෙන යුගයක්. ඒ නිසා මෙම ප්‍රබල අවි මහෙයුම් විසින් කවර තත්ත්වයක් නිර්මාණය කරනු ඇත්දැයි අපිට පුරෝකථනය කරන්න බැහැ. අපිට කෙටි කාලයක් පුරෝකථනය කළ හැකියි. එහෙත් එම කාලය අභිබවා යුද්ධය ඉදිරියට පැවතියහොත් කිසිදු ජගතෙකුට එය පුරෝකථනය කරන්න බැහැ. ඒ නිසා අපි ඔබට සහතිකයක් දෙන්නම් මේ මාස දෙකේ බලශක්ති සැපයුම් ලබා දෙන බවට. හැබැයි මිල උච්ඡාවචනය විය හැකියි. මම තෙල් ළිඳක අයිතිකරුවෙක් හෝ තෙල් සමාගමක නියෝජිතයෙක් නිසා මට ලාභ ගන්න මේවා කරනවා නෙවෙයි. හැබැයි ආණ්ඩුවක් ලෙස අපිට වගකීමක් තිබෙනවා අඛණ්ඩ බලශක්ති සැපයුමක් ලබා දෙන්න" යනුවෙන්ද ජනාධිපතිවරයා කීය.