(විමුක්ති එස් රුද්‍රිගු)

සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නගා සිටුවීම සඳහා රුපියල් මිලියන 60 ක මුදලක් ප්‍රදානය කිරීමට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ යුරෝපා සංගමයේ මෙරට නියෝජිත කණ්ඩායම එක්ව තීරණය කර ඇත.

මිලියන 60 මුදල තෝරාගත් කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් 60 දෙනකු වෙත රුපියල් මිලියනය බැගින් ඉදිරි මාස දෙකක කාලය තුළ බෙදා දීමට නියමිතය. සංචාරකයන් නැවත පැමිණීම ආරම්භ වන විට කොවිඩ් ආරක්‍ෂිත පරිසරයක් තුළ තමන්ගේ ව්‍යාපාරය වර්ධනය වෙනුවෙන් ශක්තිමත් පදනමක් සකසා ගැනීමට උපකාර කිරීම මෙම ප්‍රදානයේ අරමුණ වී ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපති ඩෙනිස් චෙයිබි මහතා පළමු ප්‍රදානය සිදුකිරීමේ අවස්ථාවට එක්වෙමින් “වසංගත තත්වය හේතුවෙන් දැඩි ලෙස පීඩාවට ලක්ව සිටින සංචාරක ක්ෂේත්‍රයේ සුළු පරිමාණ ව්‍යවසායකයන් වෙත මූල්‍ය ප්‍රදානයන් ඇතුලු විවිධ ආකාරයේ සහයෝගය අත්‍යවශ්‍යයි .

විශේෂයෙන් රට තුළ පවතින වත්මන් අභියෝගාත්මක තත්ත්වය හා රුසියානු-යුක්‍රේන ආක්‍රමණය හේතුවෙන් දේශීය සංචාරක ව්‍යාපාරය තවදුරටත් අර්බුදයකට ලක් වී තිබෙනවා.ඒ නිසා ඔවුන්ගේ ව්‍යාපාර කෙටි කාලයක් තුළ යළි ස්ථාපිත කිරීම වෙනුවෙන් මෙන්ම ඉදිරි සාර්ථකත්වය වෙනුවෙන් ශක්තිමත් පදනමක් ගොඩනැගීමට වැඩසටහන් රැසක් දියත් කිරීම සඳහා අපි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සමඟ එක්ව කටයුතුකරනවා”යැයි පැවසීය.