"සුළං රුල්ල ලෙස හමා එමී, ආදර ප්‍රිය ළඳුනේ, මට මුළු ලොවම ඔබයි, නිලම්බරේ කැළුම් පිරී සරා සඳ වගේ, ඕවිල්ලේ පෙම් සැඳැල්ලේ, එකම ඉසව්වේ එකම දනව්වේ...." වැනි සුමියුරු ගීත රැසක් මෙරට සංගීත රසකාමීන්ට තිළිණ කළ ප්‍රවීණ ගායන ශිල්පී ෆීලික්ස් ඇන්ටන් ගැයූ සුවිශේෂී ගීත අඩංගු අලුත් සීඩී පටයක් පසුගියදා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව විසින් නිකුත් කරන ලදී.
වසර 15ක නිහැඬියාවකින් පසුව මුදාහරින ලද "ජීවිතේ සොඳුරුයි" නමැති ෆීලික්ස්ගේ සීඩී තැටිය ඔහුගේ ගායන දිවියේ 45 වැනි සංවත්සරය හා සමපාත වීම සුවිශේෂී අහම්බයකි.
"මගේ මුල්ම ගීතය වන "නෙත පිනන රුසිරු වත" මා ගායනා කළේ 1971 අප්‍රේල් මාසයේදී. මේ ගීතයත් මගේ අලුත් සීඩී පටයට ඇතුළත් කර තිබෙනවා. ඇත්තෙන්ම මම ගුවන් විදුලියට මුලින්ම බැඳෙන්නෙ ක්‍රියාකාරී සහායකයෙක් හැටියට 1969 සැප්තැම්බර් මස 23දා. ඒක හරි රසවත් කතාවක්," ෆීලික්ස් අප සමග දොඩමළු වෙමින් පැවසීය.
පොඩි කාලෙ ඉඳලම මට සින්දු කියන, සින්දු අහන පිස්සුවක් තිබුණා. දැන් අපේ රටේ ඉන්න ජනප්‍රිය ශිල්පීන් ගොඩ දෙනෙක් ඉස්සර මාත් එක්ක ගුවන් විදුලියෙන් සින්දු ඉල්ලපු රසික රසිකාවියො. සාන්ත බෙනඩික්ට් විදුහලේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් විද්‍යා විෂයන් ඉගෙන ගත්තට මගේ හිත ඇදී ගියේ කලාවට. ඔන්න ඉස්කොලෙන් අස්වෙලා රැකියාවක් හොයාගෙන ඉන්න කාලෙ තමයි මට ගුවන් විදුලියේ රැකියාවට කැඳවීමක් ලැබෙන්නෙ. සම්මුඛ පරීක්ෂණ කීපයකින් පස්සෙ තමයි මුල් කණ්ඩායම බඳවා ගත්තෙ. මට මතකයි අපිත් එක්ක එදා බැඳුණු අය තමයි ඩබ්. ජයසිරි, ගුණදාස කපුගේ, දයා තෙන්නකෝන් වගේ අද ජනප්‍රිය චරිත.
ගුවන් විදුලියට බැඳුනෙ සින්දු කියන්නද?
නෑ නෑ අපිව බඳවාගත්තෙ කාර්මික අංශයට. අපට එදා හිටිය ගුවන් විදුලියේ ප්රතාපවත් චරිත එක්ක වැඩ කරන්න අවස්ථාව ලැබුණා. හැබැයි මටයි කපුගේටයි තිබුණෙ කොහොම හරි සින්දුවක් කියන්න තියෙන ආසාව. ගුවන් විදුලියට බැඳිලා අවුරුදු දෙකක්වත් යන්නට කලින් කපුගේ "දෑස නිලුපුල් තෙමා" ගීතය ගායනා කළා. මම "නෙත පිනන රුසිරු වත" ගායනා කළා. මගේ ගීතය සංගීතවත් කර තනුව හදා දුන්නෙ අද අප අතර නැති එම්.කේ. රොක්සාමි මාස්ටර්.
"සුළං රුල්ල" හැදුණෙ කොහොමද?
දැන් මගේ මුල් ගීතයෙන් පස්සෙ මට ඕනවෙලා තිබුණා සංගීත ප්‍රසංගවලදී ඉල්ලුමක් හදාගන්න පුළුවන් නැගලා යන සින්දුවක් කරන්න. ඒ කාලෙ මෙල්රෝයි ධර්මරත්න ජෝතිට හදපු %ගංගාවයි මහ මුහුදයි^ ගීතය අතිශය ජනප්‍රියව තිබුණා. මම කරුණාරත්න අබේසේකරට (කරු අයියා) කියලා "සුළං රුල්ල ලෙස හමා එමී" ගීතය ලියවා ගත්තා. මෙල්රෝයිට කියලා ලස්සන තනුවක් දාගත්තා. ඔන්න ඔතනින් පස්සෙ ඒ ගීතයට ලොකු ඉල්ලුමක් තිබුණා. ප්‍රසංග වේදිකාවලත් ඉල්ලුම වැඩිවුණා. මම තව සින්දු හදාගත්තා. එදා කියපු ගොඩාක් සින්දු අදටත් ජනප්‍රියයි.
සුළං රුල්ල ඔබ මෑතකදී සෙන්ටිග්‍රේඩ්ස් සමඟ ප්‍රතිනිර්මාණය කළා නේද?
ඔව්. තුසිත් නිරෝෂන්ගෙ ඉල්ලීමකට අනුව ඒක කළේ. නව පරපුර අතරත් දැන් ඒ ගීතය ජනප්‍රියයි. මේ ගීතයේ මියුසික් වීඩියෝවටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
ඔබ ගායනයට පමණක් නොව රංගනයටත් සම්බන්ධ වුණා නේද?
ඔව්. මම "නැව ගිලුනත් බෑන් චූන්" "සතුටයි කිරුල අපේ", "මල්සර දෝණි" "නොම්මර 17" වගේ චිත්‍රපටවල රඟපාන්න අවස්ථාව ලැබුණා. ඊට අමතරව මම ගුවන් විදුලි නාට්‍යවලට සම්බන්ධ වෙලා තියෙනවා. ගුවන් විදුලි හා රූපවාහිනී නිවේදන කටයුතුත් එක්ක සම්බන්ධවෙලා තියෙනවා.
ඔබේ ඒකපුද්ගල සංගීත ප්‍රසංගයක් පවත්වන්න අදහසක් නැද්ද?
මගේ හිතමිත්‍ර රජීව් සෙබස්තියන් එවැනි යෝජනාවක් කරලා තියෙනවා. බොහෝ විට මේ අවුරුද්දෙ එහෙම දෙයක් සිද්ධ වෙයි.
රමේෂ් උවයිස්
2025 දෙසැම්බර් මස 30
124
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
752
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
372
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
'සුළං රුල්ල' වීඩියෝවටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.