IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


මම එළියට ආවේ කොහොමද කියලාවත් මම දන්නේ නෑ...

ඉන්දියන් එක්ස්ප්‍රස් ගුවන් යානයේ සිටි මගියකු වූ 34 හැවිරිදි රංජිත් පැනන්ගාඩ් යානය ගොඩබානා අවස්ථාවේදී තමන් මුහුණදුන් අත්දැකීම් සිහිපත් කළ ආකාරයට එක අවස්ථාවකදී සියල්ල හිස්ව ගියේය. රෝහල්ගතව සිටි ඔහු ඒ.එෆ්.පී පුවත් සේවයට තමන් මුහුණ දුන් අත්දැකීම විස්තර කළේ මෙලෙසිනි.

"අනතුරෙන් පසුව, හදිසි දොර විවර වුණා. මම කොහොම හරි එළියට පැනගත්තා..." යයි ඔහු කොෂිකෝඩිහි රෝහල් ඇඳක සිට පැවසීය.

"යානයේ ඉදිරිපස කොටස පෙන්න තිබුණේ නෑ.... ඒක කොහේ ගියාද දන්නේ නෑ... එය මුළුමනින්ම අතුරුදහන් වෙලා... මම එළියට ආවේ කොහොමද කියලාවත් මම දන්නේ නෑ... ඒත් එහෙම වෙලා... මම ජීවත්ව ඉන්න එක ගැන නම් මම දෙවියන්ට පින්දෙනවා" යයි රංජිත් පැවසීය.

දරුණු වැසි සහ සුළං හේතුවෙන් දකුණු ඉන්දියාවේ කැලිකට් ගුවන්තොටුපොළේදී ගුවන්  යානයක් කඩා වැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 18 දෙනෙකු මිය ගොස් තිබේ. මෙම ගුවන් යානයේ මගීන් 190 ක් පමණ දෙනා ගමන් කර ඇති අතර මියගිය අය අතර ගුවන් යානයේ නියමුවෝ දෙදෙනාද සිටිති.

කොරෝනා වසංගතය හේතුවෙන් විදේශයන්හි අතරමංව සිටින ඉන්දියානුවන් ආපසු ගෙන්වා ගැනීම සඳහා ගිය එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් ගුවන් සේවයට අයත් බෝයිං 737 ගුවන් යානය ඩුබායි සිට විශේෂ ගුවන් යානයකින් කේරළ ප්‍රාන්තයේ කොෂිකෝඩිහි ගුවන් තොටුපොළට පැමිණ තිබේ. මෙම ගුවන් යානය ගොඩබෑමට යද්දී කඳු ගැටයක වැදීමෙන් යානය කොටස් දෙකකට කැඩී ගොස් තිබේ.

ඉන්දීය ගුවන් සේවා අමාත්‍ය හර්දීප් සිං පූරි මහතා පැවසුවේ මියගිය සංඛ්‍යාව 18 දක්වා ඉහළ ගොස් ඇති බවයි. මෙම මරණවලට ගුවන් නියමුවන් දෙදෙනා මෙන්ම මාස 10 සහ මාස 18 ක් වයසැති ළදරුවන් ද ඇතුළත් බව රෝහල් ලැයිස්තුවකට අනුව  කිව හැකිය. ඊට අමතරව, අවම වශයෙන් පුද්ගලයින් 15 දෙනෙකු වත්, බරපතල තුවාල ලබා ඇති බවද වෛද්‍යවරු පවසති.

“ගුවන් යානය කොටස් දෙකකට බිඳී යාමෙන් ඉන්ධන කාන්දු වී ඇති නමුත් එයින් ගුවන් යානය ගින්නට හසු නොවීම  ආශ්චර්යයක්. එහෙම වුණා නම් මියගිය සංඛ්‍යාව මීට වඩා වැඩි විය හැකිය" යැයි එම ස්ථානයේ සිටි එක් හදිසි ආපදා අස්වැසුම් නිලධාරියෙක් පැවසීය.

කොෂිකෝඩ් නගරයේ පිහිටි කැලිකට් ගුවන් තොටුපොළ එක් කෙළවරක තද බෑවුමක් සහිත වන අතර මේසයක් මත පිටිහියා බඳු ධාවන පථයක් ඇති ගුවන් තොටුපොළකි. එහි එක පැත්තක තරමක කඳු ගැටයකි. එයට ගුවන් යානයක් ගොඩබැස්සවීම මනා පළපුරුද්දක් ඇති ගුවන් නියමුවන්ට පමණක් කළ හැකි ඉතා අසීරු කාර්යයකි.

පසුගිය දිනවල කේරළයට දැඩි ගංවතුර තත්ත්වයක් ඇති වූ අතර ජෙට් යානය ගොඩබසින විට පැය කිහිපයක් තිස්සේ අධික වැසි ඇද හැළෙමින් තිබුණි.

යානය කෑලි දෙකට කැඩී යයි

ඒ වන විට පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බෝයිං 737 යානය ගුවන් තොටුපොළ වටා දෙවරක් රවුම් ගසා තුන්වන වතාවේදී ගොඩබෑමට පටන් ගත් බව ඉන්දීය ගුවන් ගමන් පාලක නිලධාරීන් සහ ගුවන් ගමන් සටහන් වන  වෙබ් අඩවියක් උපුටා දක්වයි. ජෙට් යානය ගොඩබෑමට පෙර කිහිප වරක්ම දැඩි සුළඟ හේතුවෙන් ඉහළටත් පහළත් තල්ලු වූ බව දිවි ගලවා ගත් අය ඉන්දියානු රූපවාහිනියට පැවසූහ.

ඉන්දීය සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ අධික වර්ෂාව හේතුවෙන් ජෙට් යානය ධාවන පථයේ කෙළවරට ගොස්  “දෙකට කැඩී මිටියාවතට වැටුණා” කියාය.

අඳුරු හා තෙත් සුන්බුන් වලින් මිනිසුන්ව නිදහස් කර ගැනීම සඳහා දේශීය කුලී රථ රියදුරන් සහ වෙළඳුන් ගුවන් තොටුපල ගලවා ගැනීමේ කාර්ය මණ්ඩලයට එක්ව සිටියහ. යානයේ ඇතැම් කොටස් විශේෂ උපකරණවලින් කපා දමා තුවාලකරුවන් බේරා ගැනීමට සිදු විය. තුවාල ලැබූවන් සහ සිරුරු සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට පැය තුනක් ගත වූ බව නිලධාරීහු පැවසූහ.

තුවාල ලැබූවන් බොහෝ දෙනෙකු රෝහල් වෙත ගෙන යන ලද්දේ ගිලන් රථවලින් නොව කුළී රථ වලිනි.

“ශබ්දය ඇසීමෙන් ප්‍රදේශවාසීන් ඉතා කඩිනමින් එම ස්ථානයට ආවා. ” යැයි එක් ගලවා ගැනීමේ සේවකයෙක් පැවසීය. "මිනිස්සු කාර් වලින් ආවා, වට්ස්ඇප් පණිවිඩ යැව්වා ... උදව් කරන්න මිනිස්සු අවශ්‍යයි කියලා.

"මුලදී, මිනිසුන් තුවාල ලැබූවන් ඔවුන්ගේ මෝටර් රථවලින් රෝහල් වෙත ගෙන ගියා. පසුව හදිසි සේවාව එම කාර්යය භාර ගත්තා.“ අයෙක් පැවසීය.

එහෙත් නිසි  ප්‍රතිකාර ලබා ගැනීමට පෙර එක් ළදරුවෙක් මෝටර් රථය තුළදීම
මිය ගියේය.

මෙම ගුවන් යානය කොරෝනා වසංගතයෙන් විදේශයන්හි අතරමංව සිටින ඉන්දියානුවන් දස දහස් ගණනක් සිය නිවෙස් කරා ගෙන ඒමට පසුගිය දිනවලදී යෙදවූ යානාව වලින් එකකි. මෙවන් ගුවන් ගමන් සියගණනක් වූ අතර ඒවා බොහොමයක් අරාබිකරයේ රටවල ගමනාන්ත කරා පියාසර කෙරිණ.

සුන්බුන් අතර තිබූ ගුවන් ගමන් ලියකියවිලි වලට අනුව, යානයේ සිටි 15 දෙනෙකුට රැකියා අහිමි වී තිබිණ.  12 දෙනෙකු හදිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා ආපසු එමින් සිටියහ. දෙදෙනෙක් නැවත විවාහ වීමට පැමිණ සිටියහ.

දේශපාලන පසමිතුරන් වන නමුත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි  මෙන්ම පාකිස්තානු අගමැති ඉම්රාන් ඛාන්ද අහිංසක ජීවිත අහිමි වීම සම්බන්ධයෙන් මහත් කම්පාවට පත්ව සිටිති.

"මගේ සිතුවිලි ඔවුන්ගේ ආදරණීයයන් අහිමි වූ අය සමඟයි," යයි අගමැති මෝදි සිය ශෝකය ප්‍රකාශ කළේය. පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් කියා සිටියේ “අහිංසක ජීවිත අහිමිවීම” ගැන තමා කණගාටුවට පත්වන බවයි.

ජුනි මාසයේදී පාකිස්තානු ගුවන් යානයක් කරච්චියේ ජනාකීර්ණ  ප්‍රදේශයකට කඩා වැටීමෙන් යානයේ සිටි 97 දෙනෙක් සහ කුඩා දරුවෙක් මිය ගියහ.

ඉන්දියාවේ අවසන් වරට සිදු වූ විශාලතම ගුවන් අනතුර වූයේ 2010 දී ඩුබායි සිට මැංගලෝරය දක්වා වූ එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් බෝයිං 737-800 ගුවන් ධාවන පථයට ඉහළින් බිම වැදී ගිනිගෙන පුපුරා යාමයි. මැංගලෝර් ගුවන් තොටුපොළේ ධාවනපථයද
මේසයක් මතට ගොඩබාන්නක් බඳු  ඉහළින් පිහිටි ධාවන පථයක් ඇති ගුවන්තොටුපොළකි. එම  අනතුරින් පුද්ගලයින් 158 දෙනෙකු මිය ගොස් දිවි ගලවා ගත් අට දෙනෙකු ඉතිරි විය.

කේරළය නිරන්තරයෙන් මෝසම් ගංවතුරෙන් පීඩා විඳින ප්‍රන්තයකි. පසුගිය දිනවල අධික වර්ෂාව හේතුවෙන් ඇති වූ නායයෑමකින් ප්‍රාන්තයේ වෙනත් තැන්වල පැල්පත් පේළියක් සමතලා වීමෙන් පුද්ගලයෝ 15 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.



අදහස් (3)

මම එළියට ආවේ කොහොමද කියලාවත් මම දන්නේ නෑ...

de silva Saturday, 08 August 2020 03:01 PM

කොච්චර කොරෝනාවලින් බැට කෑවත්, ඉන්දියාව විශේෂ ගුවන් යානා යවමින් මැදපෙරදිග අතරමං වෙලා ඉන්න තව පුරවැසියන් ගෙන්වාගන්නවා. ඒකට අපේ පාලකයෝ... රටේ දොර වහගෙන ඉන්නවා.

:       1       5

chamika Saturday, 08 August 2020 08:56 PM

පුවතේ කියැවෙනවා මෙයා ඉන්දියාවේ රජය විසින් ඉන්දියානුවන් දසදහස් ගණනක් පිටරට සිට ගෙන්වා ගැනීමට යෙදවූ ගුවන් යානා සිය ගණනකින් එකක් බව... එය කියවන විට ලොකු දුකක් ඇතිවුණා. ඉන්දියාවේ කොරෝනා අපිට වැඩිය බරපතල වෙලත් ඉන්දියාවේ ආණ්ඩුව ඒ මිනිස්සු ගෙනියනවා. ඒත් අපේ ආණ්ඩුව ඡන්ද තියතියා බාල් නටන ගමන් අපේ ගැහැණු මිනිස්සු මිනිස් බෝම්බ කියලා හංවඩු ගහලා අරාබියේ යන්න එන්න රටක් නැති ගාණට අතර මං කරලා. රටට සල්ලි නැතිවුණාම රට විරුවෝ ඩොලර් එවන්න කියපු හාමුදුරුවොත් අපි ගැන කතා කරන්නේ නෑ. අපිට දීපු රටවිරුකමුත් දැන් නෑ. අපිට යන්න රටකුත් නෑ. අපි දැන් යන්න එන්න රටක් නැතුව අතරමං වෙලා වගේ...

:       0       0

sharm warn Monday, 10 August 2020 08:34 AM

හරිම දුකයි.... මරණයට පත් සියලුදෙනා ගේ ආත්මවලට සැනසීමත් තුවාල ලත් සියලු දෙනාට ඉක්මන් සුවයත් පාර්ථනා කරනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 351 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 303 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 472 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site