IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ධනංජනය සිරිවර්ධන කෙනෙක් නිර්මාණය කරන්නෙ මේ ක්ෂේත්‍රයයි

2016-05-06-ent-06

 

වර්තමාන පරපුරේ කුසලතාපූර්ණ රංගනවේදියෙකු වන ධනංජය සිරිවර්ධන ඔහුටම ආවේණික ශෛලියකින් තම දස්කම් ප්‍රකට කරමින් ඉමහත් ජනතා ආකර්ෂණයට පාත්‍ර වී සිටින තරුණ කලා ශිල්පියෙකි. පසුගිය කාලය තුළ ඔහු නිරූපණය කළ විවිධ චරිත විමසා බැලීමේදී ඔහුගේ සුවිශේෂී රංග භාවිතය මනාව ඉස්මතු වේ. "ජීවිතය කියන්නෙ තමන් සොයාගැනීම නොව තමන් තමා විසින් නිර්මාණය කිරීමයි. යමෙකුට තමන් කවුදැයි හඳුන්වා දිය යුතු නැති තරමට ඔබ මහන්සියෙන් ඔබේ වටිනාකම ගොඩනැගිය යුතුය." මෙවන් ආදර්ශ පාඨයක් තම ජීවිතයට යෝග්‍ය කරගන්නා ධනංජය, රංගනයට වගේම ගායනයට හා නිවේදනයටද දස්කම් ප්‍රකට කර ඇත.

 

කලකට පසු "හදසර" හා ළෙන්ගතු කතාබහකට ධනංජය අපට හමුවූයේ රූගත කිරීම්වලින් තොරවූ විවේකී දවසකය.

 

හොඳ රංගන ශිල්පියෙකු සතුව තිබිය යුතු මූලික ගුණාංග මොනවාද?

2016-05-06-ent-07ප්‍රධාන වශයෙන් ඔහු අවට පරිසරය ගැන, ලෝකය ගැන හා මිනිසුන් ගැන මනා දැනුමක් හා අවබෝධයක් තිබිය යුතුයි. එසේ නොවී හොඳ නළුවෙක් වීම අසීරු කාරණයක්.

 

ඔබ තුළ ඒ ගුණාංග තිබෙනවාද?

මේ ක්ෂේත්‍රය තුළ සැළකිය යුතු කාලයක් නිරත වීම තුළින් ඒ ගුණාංග ප්‍රගුණ කළා.

 

හොඳ මනුෂ්‍යයෙන්වීම හා හොඳ තරුවක් වීම මේ දෙකෙන් ඔබ තෝරාගන්නේ?

අනිවාර්යයෙන්ම හොඳ මනුෂ්‍යයෙක් වීම. හොඳ මනුෂ්‍යයෙක් වීම තුළින් හොඳ තරුවක් වෙන්නට පුළුවන්.

 

ඔබ මුලින්ම රංගන කුසලතාවන් උරගා බලන්නෙ "නේත්‍රාංජලී" ටෙලිනාට්‍යය තුළින්. එදා මෙදා කාලය තුළ මේ කලා ක්ෂේත්‍රය හරහා ඔබේ ජීවිතයට උකහා ගත් දේවල් සිහිපත් කරනව නම්?

හොඳට හෝ නරකට මගේ ජීවිතයේ බොහෝ දේවල් මේ රංගන ක්ෂේත්‍රය මට කියාදී තිබෙනවා. උසස් පෙළ සමත් වීමෙන් පසු පරිගණක නිර්මාණ ශිල්පියෙකු වීමට ගිය ගමන අතරමඟ නතර කරලා දෛවය මට රංගන ලෝකයේ දොරගුළු විවර කරලා දුන්නා. "නේත්‍රාංජලී" හි මට අවස්ථාව ලැබෙන්නෙ අහම්බෙන්. ඒ දවස්වල මම හිතුවෙ මේක මහා මනස්කාන්ත ලෝකයක් කියලා. මතුපිටින් මේ ක්ෂේත්‍රය දිහා බලන බොහොමයක් අයට මුලදී පේන්නෙ එහෙම තමයි. ඒත් මම ස්ව උත්සාහයෙන් හැම දෙයක්ම ඉගෙන ගත්තා. රිය පැදවීම සිට නටන්න, දුවන්න හැම දෙයක්ම මම ඉගෙන ගත්තා. අශෝක හඳගමගේ "මේ පාරෙන් එන්න" නාට්‍යයට මට මගේ රංගන ජීවිතයේ මුල්ම සම්මානය හිමිවීමත් සමඟ රංගනය කෙරෙහි මගේ තිබුණ ඇල්ම තවත් වැඩිවෙනවා. ජීවිතයේ සියලුම දේවල් මට කියා දුන්නෙ මේ ක්ෂේත්‍රය බව මම වගකීමෙන් කියනවා. කොටින්ම කිව්වොත් ධනංජනය සිරිවර්ධන කෙනෙක් නිර්මාණය කරන්නෙ මේ ක්ෂේත්‍රයයි.

 

"මේ පාරෙන් එන්න" ටෙලි නිර්මාණය සඳහා හොඳම නළුවාට හිමි සම්මානයට ඔබ පාත්‍ර වෙන්නෙ ඉතා තරුණ අවධියක?

හොඳම නළුවාට හිමි සම්මානය හිමිකරගත් ළාබාලතම නළුවා හැටියට තමයි එය වාර්තා වෙන්නෙ. ඉන් අනතුරුව ජනප්‍රිය නළුවා, හොඳම නළුවා හා හොඳම සහාය නළුවාට හිමි සම්මාන මට ලැබී තිබෙනවා.

 

සම්මාන ගැන කතා කරද්දි සමහර පාර්ශ්වයන් අපේ රට තුළ පවතින සම්මාන පිරිනැමීමේ ක්‍රමවේදය ගැන විවිධ මත පළ කරනවා?

ලංකාවෙ විතරක් නෙවෙයි ලෝකෙ ඉහළම, පිළිගත් සම්මාන උළෙලවල්වල පවා ලබාදෙන සම්මාන ගැනත් විවිධ මත පළ කරන අය ඉන්නවා. මේ ක්‍රමවේදයෙන් ගැලවෙන්න ලෝකෙටත් බැහැ. සම්මාන ලැබෙන කෙනාට ඒක හොඳයි, නොලැබෙන කෙනාට දුකයි. මේක දරාගැනීමේ ශක්තියත් අපට තියෙන්නට ඕනෙ.

 

ජනප්‍රියත්වයත් සමඟ බද්ධ වී එන හොඳ දේවල් වගේම අයහපත් පැතිකඩත් තියෙනවා නේද?

ජනප්‍රියත්වයත් හරියට දෙපැත්ත කැපෙන කඩුවක් වගේ. ඒක පරිස්සමින් පරිහරණය කිරීම බැරූරුම් කාර්යයක්. ජනප්‍රිය පුද්ගලයින් කියන දේවල් මිනිස්සු විශ්වාස කරනවා. ඒ අයට අසීමිත ලෙස ආදරය කරනවා. ජනප්‍රියත්වයේ ඍණාත්මක පැත්ත තමයි මම කැමති විදිහට රබර් සෙරෙප්පු ජෝඩුවක් ඇඳගෙන, සින්දුවක් කියාගෙන පාරෙ ඇවිදගෙන යන්න බැරිවීම. බස්වල ගමන් බිමන් යන්නට නොහැකි වීම. අපේ පින්තූර යොදාගෙන සමහරු හොර FB Profile හදනවා. සමහරු ඒවට රැවටෙනවා. FB ප්‍රවණතාවය දැන් සමාජයේ ඉතාම සීඝ්‍රයෙන් ඉහළ යනවා. මම කාරුණිකව ඉල්ලා හිටිනවා ආසාවටවත් FB පරිහරණය කරන්නට කළින් ඒ ගැන දැනුම්වත් වෙන්න, ගැඹුරින් ඉගෙන ගන්න. පස්සෙ පසුතැවිලි වෙන්න එපා.

 

හොඳ ස්වාමිපුරුෂයෙකුට හොඳ නළුවෙක් වෙන්න පුළුවන්ද?

හැබැයි ඒ ප්‍රශ්නෙට නම් හරියටම උත්තරයක් දෙන්න හැකි වෙන්නෙ මගේ බිරිඳ ශෂිනිට තමයි.

 

මේ දිනවල ඔබ නිරතව ඉන්න ටෙලි නිර්මාණ ගැන මතක් කළොත්?

වස්සාන ප්‍රේමය හිරු නාළිකාවේ විකාශය වෙන්නෙ. ඒකෙ විරාජ්ගෙ චරිතයට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම ස්වර්ණවාහිනියේ විකාශය වන "රතු අහස" සුවිශේෂී චරිතයක්. ඒ ගැන මට වගේම රසිකයින්ටත් ලොකු බලාපොරොත්තු තියෙනවා. මා මෑතකදී රඟපෑ "නෙතු අද්දර" ටෙලිනාට්‍යයේ චරිතයක් දැඩි ප්‍රේක්ෂක ආදරයට පාත්‍ර වුණා.

මේ සියල්ලටම වඩා මගේ රංගන ජීවිතයේ වෙනස්ම චරිතයක් ජැක්සන් ඇන්තනී ප්‍රවීණ රංගධරයාගේ අධ්‍යක්ෂණය යටතේ "සී රජ" ටෙලි නාට්‍යයේ මම රඟපානවා. මෙහි මම නිරූපණය කරන්නෙ "දේවමිත්ත දඩනායක" කියන චරිතයයි. ජැක්සන් ඇන්තනීගේ අධ්‍යක්ෂණය යටතේ මගේ මුල්ම රංගන දායකත්වය සඳහා ලැබෙන ප්‍රතිචාරත් ඉතාම ඉහළයි.

 

ඒත් අද ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය් අර්බුද ගැන බොහෝ මතවාද ගොඩනැගී තිබෙනවා?

ඔව්, ඉන්දියානු කොරියානු ටෙලිනාට්‍ය අපේ ප්‍රේක්ෂකයින්ට අද සීමාරහිතව ලබාදෙනවා. ඒ දිහා කට ඇරං බලං ඉන්නවට වඩා හොඳ නිර්මාණ කරලා අපේ ප්‍රේක්ෂක ප්‍රසාදය දිනා ගැනීම තමයි කළ යුත්තෙ. මේ අර්බුදයට හොඳම විසඳුම තමයි %සී රජ^ වැනි නිර්මාණ. මේකෙ තියෙන්නෙ අපේ කතාව, අපේ ඉතිහාසය. විශාල පිරිවැයක් දරලා ඒ වගේම වෙහෙසක් දරලා තමයි මේ වගේ නාට්‍ය හදන්නෙ. ශ්‍රී ලංකාවෙ හොඳ නාට්‍ය නැතුව නෙවෙයි. ඒත් සමහරු අපේ නිර්මාණ, අපේ රංගන ශිල්පීන් අවතක්සේරුවට ලක් කරනවා. ලාබෙට ගෙනැල්ලා පෙන්නන පිටරට ටෙලිනාට්‍යට වඩා අපේ හොඳ නිර්මාණවලට ඉඩක්, ඉල්ලුමක් තිබෙන බව අපි දන්නවා, මේ රටේ ජනතාවත් දන්නවා, මාධ්‍යත් දන්නවා. අපේ නිර්මාණවල විශ්වසනීය බව වැඩි කරලා මේකට විසඳුම් හොයන්න ඕනෙ. හොඳ දේවල් හොඳ මිලකට විකුණන්න පුළුවන් වෙළඳපොළක් හදන්න ඕනෙ.

 

ධනංජය සිරිවර්ධන කියන අති දක්ෂ රංගන ශිල්පියාට සිනමාවේ දොරගුළු විවර නොවන්නේ ඇයි?

ඒක අහන්න ඕනෙ මේ රටේ සිනමා අධ්‍යක්ෂකවරුන්ගෙන්. මගේ පරම්පරාවේ ඉන්න ශිල්පීන්ට මේ ප්‍රශ්නය බොහෝදුරට බලපානවා. මගේ රසික රසිකාවියන් බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි ඒක. ඒත් ඒකට උත්තරේ තියෙන්නෙ මා ළඟ නෙවෙයි. මම ගරු කරන, ප්‍රිය කරන චිත්‍රපට අධ්‍යක්ෂකවරු රැසක් මේ රටේ ඉන්නවා. හොඳ සිනමා නිර්මාණයකට ආරාධනා කළොත් සතුටින් බාරගන්න කැමතියි.

 

ධනංජය සිරිවර්ධන කියන ගායකයාට මොකද වෙන්නෙ?

ඒ ගායන තරුව ළඟදීම පායයි. බලාපොරොත්තුවෙන් ඉන්න.

 

අවසාන ප්‍රශ්නය. ඔබ දේශපාලනයට සම්බන්ධ වෙන්න අදහසක් නැද්ද?

මිනිසා කියන්නෙ දේශපාලනික සත්වයෙක්. මට දේශපාලනය පිළිබඳ මතයක් නැතුව නෙවෙයි. ඒත් ඒ වර්තමාන පක්ෂ දේශපාලනය නෙවෙයි. කවදහරි දවසක මම බලාපොරොත්තු වන දේශපාලනය ඇතිවුණ දවසක, එදාට මම ඉදිරියෙන්ම සිටීවි.

 

ර‍මේෂ් උවයිස්

 

DESHAYA

 



අදහස් (0)

ධනංජනය සිරිවර්ධන කෙනෙක් නිර්මාණය කරන්නෙ මේ ක්ෂේත්‍රයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 747 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site