සියල්ල සුබවාදී ලෙස සිතන්නටත්, පතන්නටත් හුරු පුරුදු වී සිටි මා කරා ව්‍යාධිය නම් වූ ධර්මතාව පැමිණියේ පෙර මට දන්වා නොවේ. මගේ දයාබර බිරිඳට හා දියණියට ද දන්වා නොවේ. මගේ හෘදයාංගමයන්ට ද දන්වා නොවේ. බොහෝ දුරු රටක් කරා ගමන් කරද්දී ගුවන්යානය බාන්නට ඔන්න මෙන්න කියා තිබිය දී ය.පපුව හිරකරවමින් හදවත පිපිරී යන තරමට ආ වේදනාව මා ඉවසා දරා සිටියේ ජීවිත තෘෂ්ණාවෙන් ම විය යුතු ය. මා වේදනාවෙන් මිරිකෙණු දුටු අසල අසුනක සිටි විදෙස් කතක් ගුවන් සේවිකාවකට ඒ බව දන්වා නොතිබෙන්නට ස්ථිරවම මගේ ප්‍රාණය ගුවන්යානාව තුළ දී ම නිරුද්ධ වන්නට බොහෝ ඉඩකඩ තිබිණි.
ගුවන්යානය පෝලන්තයේ වොර්සෝ ගුවන් තොටුපළට ගොඩබැස්වූ සැණින් මා රෝහලක් කරා ගෙන යන්නට තරම් ගුවන්යානාවේ කාර්ය මණ්ඩලය කාරුණික වූයේ දෛවයේ හාස්කමකට මෙනි. මට මතක මා රෝද පුටුවක හිඳුවා රෝහල කරා ගෙන යනවා පමණි.
මා සිහිය ලබන විට සිටියේ රෝහල් කාමරය තුළ ය. බොඳ වූ දෑස් හමුවේ හෙදියකගේ රුව මතු වී ආවේ ය. මොහොතකින් සියල්ල හොඳින් පෙනෙන්නට විය. මගේ දියණියගේ වයසේ ම යැයි කිව හැකි තරමේ උස මහතින් යුතු හෙදියක වූ ඈන්ගේ පියකරු සිනාව මට යම් අස්වැසිල්ලක් විය. ඊටත් වඩා මගේ සැනසිල්ලට හේතු වූයේ ඈට හොඳින් ඉංග්‍රීසි භාෂාව කතා කරන්නට හැකි වීම ය. දැඟලිලිකාරියක වූ ඇය බටහිර ජාතිකයන්ට හුරු ආචාර සමාචාර ලීලා පාමින් පහත් වී මගේ මුහුණ සිප, හිත සැනසෙන වදන් පෙළක් මිමිණුවා මතක ය. ක්ෂණයකින් ඇය අතුරුදන් වූවාය.
ඈන්, ඊළඟ මොහොතේ තරුණ වෛද්‍යවරයකු කැටුව පැමිණියා ය. ඔහුගේ කඩවසම් රූපය මා සිත බැඳ ගත්තේ ය. ඔහු මා සමඟ රෝගී තත්වය පිළිබඳ කතා බස් කළ අතර ඒවා සියල්ල ඈන් මට ඉංග්‍රීසි බසින් කීවා ය. අනතුරුව ඔහු ඉංග්‍රීසි බසින් කතා කරන්නට වූයේ මා විස්මයට පත් කරවමිනි.
“ඔයාට වයස 55 වුණාට ඔයාගේ හාර්ට් එක ගොඩක් ශක්තිමත්. ඔයාට ප්ලේන් එකේදිත්, එයාර්පෝට් එකේදිත් ස්ට්‍රෝක්ස් (ආඝාතය) කීපයක් ඇවිල්ලත් බේරුණේ ඒ නිසයි.”
ඔහු කිතු භක්තිකයකු යැයි හැඟුණු නිසාදෝ මගේ මුවින් අකාරුණික වචනයක් ඉබේටම වාගේ පිට විය.
“ඇයි ඔයා නොකියන්නේ මම බේරුණේ දෙවියෝ නිසා කියලා..?”
“මම දෙවියෝ විශ්වාස නොකරන නිසා..” යැයි ඔහු මඳ සිනා පාමින් මෘදු ස්වරයෙන් කීවේ ය.
“ඕ.. මයි ගෝඩ්.. මම විශ්වාස කරන්නේ කොහොමද ඒක…?” යැයි විස්මයට පත් ඈන් කීවා ය.
බොහෝ වේලාවක් වෛද්‍ය ජෙරම් මගේ රෝගී තත්වය පිළිබඳවත්, මගේ පෞද්ගලික තොරතුරුත් විමසී ය. මගේ දුරකතනයේ තිබුණු බිරිඳගේ හා දුවගේ ඡායාරූප පෙන්වන්නට යැයි ඔහු ඉල්ලීය. මගේ දියණියගේ ඡායාරූපය දෙස බැලූ ඔහු මඳ සිනා පාමින් මා දෙසට නැමී ඈන් දෙස බලා මෙසේ කීවේ ය.
“ස්මාර්ට් ගර්ල්.. හරි ලස්සනයි.. ඔයා කැමති නැද්ද මම එයාව කසාද බඳිනවට..?”
එවිට වික්ෂිප්ත වූ ඈන් දෑත් කම්මුලට තබා ගනිමින්, “අනේ ජෙරම්.. එතකොට මට මොකද වෙන්නේ..?” කියා වේගයෙන් දිව ගොස් දොරෙන් පිටවී නොපෙනී ගියා ය.
“මම ළඟ දී ම එයාව බඳින්නයි ඉන්නේ.. හොඳයි ද එයා?”
“ලස්සනයි.. කරුණාවන්තයි.. ඔයාට ගැළපෙනවා ඩොක්ටර්. මගේ සුබ පැතුම්.” මම හදවතින් ම කීවෙමි.
හෘදයාංගම ලෙස මගේ හිස පිරිමැද ඔහු මගෙන් ඉවත් විය.
පව් සතරකින් මිදුනත් මට මත්පැනින් මිදෙන්නට නොහැකි විය. මගේ බුද්ධිය හා ශ්‍රමය වැයකොට ඉපයූ මුදලෙන් ලද සුරාව මා වනසා දමතියි කිසි කලෙකත් මම නොසිතුවෙමි. බිරිඳ හා දියණිය සුරාවට ඍජු ලෙස එරෙහි නූනත් ඒ පිළිබඳ ඔවුන් බොහෝ දුක්වූ බව මම දනිමි. ඒ බව එළි වූයේ අහම්බෙන් මෙන් බිරිඳගේ මුවින් ගිලිහුණු මෙවැනි වදන්වලිනි.
“සනත් ඔයා කොච්චර හොඳ කෙනෙක් ද.. මගේ අම්ම තාත්තා මටත් වඩා ඔයාට ආදරෙයි. අපේ ලොකු පුතා කියල කියන්නේ. ලෝකේ මිනිස්සුත් ඔයාට ආදරෙයි ඒත් ඔයා ඔයාට ආදරේ නෑ..”
යම් දිනෙක ඇගේ ඇසින් කඳුළක් ගැලුවේ නම් ඒ මගේ සුරා පානය නිසා ම ය. නමුත් මම බේබද්දෙකු මෙන් නොබීවෙමි.
දැන් මා ඉදිරිපිට මාවත් දෙකක් විවර ය. ජීවිතය.. මරණය.. ජීවිතය මට හුරු ය. මරණය නුහුරු ය.. නුපුරුදු ය.. අනපේක්ෂිතය.
මරණය පැමිණි විටදී කල් දමන්නට ද බැරි ය. මම විපිළිසර වීමි. වසර 55 පමණ අතීතය චිත්‍රපටයක දර්ශන පෙළක් මෙන් මා ඉදිරිපිට දිස්වන්නට විය. පින් හා පව් වශයෙන් මා ඒ සියල්ල දෙකොටසකට වෙන් කළෙමි. පව් පසෙක ලා කළ පින් සියල්ල ආවර්ජනය කොට ප්‍රමුදිත බවකින් නැගී සිටි මා මරණය වුව හෝ ජීවිතය වුව හෝ භාරගනිමි යි තිර අදිටනින් විපිළිසර බවින් මිදුණු සිතින් නින්දට ගියෙමි.
පසුදා ශල්‍යකර්මය සිදුකොට වෙනත් රෝහල් කාමරයක් කරා මා ගෙන යනු ලැබිණ. ඈන් ද දොස්තර ජෙරම් ද මා ළඟ සිටිනු දැකීම මට මහත් අස්වැසිල්ලක් විය. ඈන් කුඩා දැරියක මෙන් කරුණාවෙන් ද දුකින් ද මගේ අත පිරිමදින්නට වූවා ය. ජෙරම් මෙසේ කීවේ ය.
“සනත්.. බයවෙන්න එපා. අපේ පැත්තෙන් කරන්න තියෙන හැමදේම කරලයි තියෙන්නේ. තාමත් ජීවිතේ ඔයාගේ පැත්තේ.. ගුඩ් ලක් සනත්..”
ඈන් හෙදියකට වඩා මගේ ඥාතියකු මෙන් මා පිළිබඳ කරදර සිතකින් සිටිනු පෙනිණි. පිටරටක දී මෙබඳු මෘදු මොළොක් හිතැත්තන් ලැබීම භාග්‍යයක් නොවේදැයි මට සිතුණි.
දවස් කිහිපයක් ගත විය. තවත් විශේෂඥ වෛද්‍යවරු කිහිපදෙනෙක් ද වරින් වර මා පරික්ෂා කරන්නට පැමිණියහ. ඈන්ගේ සහ ජෙරම්ගේ නොමඳ කරුණාව හා සාත්තු කිරීම් ලැබීම ඉෂ්ට දේවතා අනුග්‍රහයක්දැයි මම කල්පනා කළෙමි.
දිනක් හිටි හැටියේ හැඩිදැඩි කළු ඇමෙරිකානු ජාතික රෝගියකු මගේ කාමරයේ අනෙක් ඇඳට ගෙන එනු ලැබිණ. නිහඬතාව බිඳිමින් “හලෝ” යැයි නැගුණු හඬින් මම අසල්වැසි රෝගියා දෙසට හැරුණෙමි. ඔහු තම හැඩිදැඩි අත මා වෙත දිගු කළේ මිත්‍රත්වයෙනි. මම ද අත දිගු කොට ඔහුගේ අත අල්ලා ආචාර කළෙමි. අනතුරුව, අපට කතා කිරීම තහනම් කොට තිබිය දී අප ඔවුනොවුන් පිළිබඳ තොරතුරු බෙදා හදා ගත්තේ දෙසතියක මගේ හුදෙකලා ජීවිතයට සමුදෙමිනි.
“සනත්, විශේෂයෙන්ම හෘද රෝගයක දී රෝගියාගේ හිත සැහැල්ලුවෙන් තියෙන්න ඕනේ. මම නම් ෆ්‍රී බර්ඩ්.” යැයි ඩේවිඩ් කීවේ ඔහුගේ අවිවාහක බව අඟවමිනි.
මගේ මානසික…. මට්ටම ශල්‍යකර්මයෙන් පසු බොහෝ පසුබෑමට ලක්ව ඇති බව මටම හැඟිණ. ඒ මරණය පිළිබඳ ඇති බිය නිසාම නොව ප්‍රිය බිරිඳ හා ප්‍රිය දියණියගෙන් වෙන්වී සිටීමෙන් හටගත් ශෝකය නිසාවෙනි.
‘පේමතෝ ජායතී සෝකෝ – පේමතෝ ජායතී භයං’ – ‘ආදරය කරන දෙයින් ම ශෝකය උපදියි. ආදරය කරන දෙයින් ම බිය උපදියි.’ යන බුදු වදන සිහිපත් වූයෙන් මම නිරතුරුව මා ළඟ තිබෙන ධම්මපදය පුස්තකය ගෙන ඒ බුදු වදන යළි යළිත් කියවූයෙමි.
මා ප්‍රිය බිරිඳගේ ප්‍රේමය කෙසේ නම් විස්තර කළ හැකි ද.. එය එසේ නම් බෝධිසත්වයන් වහන්සේගේ සංසාර ප්‍රේමිය වූ යශෝදරාවන්ගේ ප්‍රේමය කෙසේ වන්නට ඇත්දැයි ආදී වශයෙන් සිතට නැගුණු සිතුවිලි අතර අතරමං වූ මම දින කිහිපයක් ම වචනයකුදු කතා නොකළෙමි. ප්‍රිය විප්‍රයෝගය මට තදින් ම දැනෙන්නට විය. එමෙන්ම බිරිඳගේත්, දියණියගේත් ඇසුරෙහි සිටි කාලය පුරා වූ සුඛනම්‍ය මෙන් ම දුක්ඛදායක සිදුවීම් විසින් මා පෙළනු ලැබිණ. ඈන් හා ජෙරම් කොතෙකුත් උත්සාහ කළ ද කතා කළේ මා නම් නොවේ.
“සනත්..” එවෙලෙහි නැගුණු ඩේවිඩ්ගේ ගැඹුරු හඬින් තැතිගත් මම පියවි ලොවට පිවිසියෙමි. “ඔයා දන්නව ද.. මේ ජනේලෙන් පේනවා මේ ළඟ ම තියෙන පාර්ක් (උද්‍යානය) එක…” ඔහු කරුණාබර ස්වරයෙන් කීවේ ය.
“හරිම ලස්සන පාර්ක් එකක්.. දැන් ශීත කාලේ ඉවරයි. පෝලන්තයට ඉර පායන්නේ අඩුවෙන් වුණාට අද හොඳට එළියයි. පාර්ක් එක පුරාම රෝස මල්.. තරුණ ජෝඩු හරි සතුටින් කතා කර කර ඉන්නවා. ළමයි සෙල්ලම් කරනවා. වයසක කපල් එකක් ළංවෙලා මොනවදෝ කතාවක.. මං හිතන්නේ ඒ ගොල්ලන්ගේ තරුණ කාලේ ගැන වෙන්නැති…” හිටිහැටියේම ඔහුගේ කතාව නැවතිණි. ඔහුගේ තියුණු නෙත් යමකට එල්ලවී ඇති බව නම් පෙනිණි.
“තව මොනවද එතන වෙන්නේ…?” මම කුතුහලයෙන් ඇසීමි.
“සනත් හරි දුක හිතෙන සිද්ධියක්… ගර්ල් කෙනෙක් දුකෙන් කොහේදෝ ඈත බලාගෙන ඉන්නවා. මං හිතන්නේ එයාගේ ඇස්වලින් කඳුළු කඩා හැළෙනවා.. ඕ ගෝඩ්.. මම හිතන්නේ ඈත ඉන්න බෝයි එයා දිහා තමයි බලාගෙන ඉන්නේ. මොකක්දෝ දෙයක් අතේ හංගගෙන එයා ඒක දිහා වරින්වර බලනවා…”
“ඉතිං.. ඉතිං..?” යැයි මම නොඉවසිල්ලෙන් ඇසීමි.
“අන්න.. අන්න. අර බෝයි අර ගර්ල් ළඟට යනවා. හැබැයි එයා දැක්කේ නෑ. දැන් ගොඩක් ළං වෙලා. එයා ගර්ල්ගේ උරහිසට හෙමින් තට්ටු කළා.. එයා ගැස්සිලා ගියා.. අනේ අහිංසක කෙල්ල. බෝයි අතේ හංගගෙන හිටපු දේ ගර්ල්ට පෙන්නුවා. අන්න එයා සතුටින් කෑගහල බෝයි බදාගත්තා. ගර්ල් අත දික් කළා.. ඕ.. මුද්දක්.. බෝයි මුද්ද ගර්ල්ගේ ඇඟිල්ලට දැම්මා…”
ඩේවිඩ් සැනසුම් සුසුමක් හෙළුවේ ය.
“දෙන්නා සතුටින් ඈතට යනවා.. මං හිතන්නේ දෙන්නා ළඟදිම කසාද බඳියි. ඔයා මැරි කළෙත් ඔය වගේ ද?” ඩේවිඩ් මගෙන් ඇසුවේ ය.
ඔහුගේ නැඟූ පැනයෙන් මගේ දෑසට කඳුළක් නැගිණි.
මම නිහඬ වූයෙමි. ඩේවිඩ් මෙසේ කීවේය.
“මේක හරි පුදුම උයනක්.. ඇලිස්ගේ විස්මලන්තය වගේ…”
ඔහු මෙසේ දිනපතා ම උයනෙහි සිදුවන අතිශය සංවේදී මානව සබඳතා පෙළක් මා හමුවේ තැබී ය.
කෙමෙන් කෙමෙන් මගේ ජීවිත ආශාව වැඩී ගියේ ය. මරණය භාර ගන්නට මා දැන් අකැමැති ය. මා දැන් ඉල්ලා සිටින්නේ ප්‍රේමය… දයාව.. මනුෂ්‍යත්වය.. ආදියෙන් පිරුණු ජීවිතය යි.
මේ අතරේ මට කතා කරන්නට බිරිඳට හා දියණියට අවසර ලැබී තිබිණි. දුරකතනයෙන් ඔවුන්ගේ හඬ කන වැකුණු පළමු මොහොතේ ම මට අසන්නට ලැබුණේ බිරිඳගේ ඉකිබිඳීම යි. දියණිය ද ඉකිබිඳිමින් වුව ද කතාබස් කළා ය. මා යළි උපන්නේ යැයි මට හැඟිණි. සියල්ල ක්‍රමයෙන් යහපත් අතට හැරෙන බවක් පෙනිණ. ඩේවිඩ් ද බොහෝ සුවපත් වූ බවක් පෙනිණි.
මා ජීවිතය එතෙක් නොවිඳි ප්‍රහර්ෂයකින් ඔද වැඩී ඇති සැටි මට දැනෙන්නට විය. එබඳු රාත්‍රීන් කිහිපයක් ගෙවී ගොස් අරුණ උදා විය.
එසේ අරුණ උදා වූ දිනයක අවදි වූ සැටියේම මම ඩේව්ඩ් දෙසට හැරුණෙමි. ඔහු ඇඳෙහි නැත. ඔහු යම් වෛද්‍ය පරීක්ෂණයකට පිටතට යන්නට ඇතැයි මම සිතුවෙමි. පැය කිහිපයක් ගත වූ නමුත් එහු එන පාටක් ද නැත.
ඈන්, “ගුඩ් මෝර්නිං” කියමින් මුව සිනාවකින් සරසාගෙන කාමරයට ඇතුළු වූවා ය.
“ඈන්… කෝ ඩේවිඩ්?”
“හරි දුකයි සනත්.. එයාට ඊයේ රෑ අමාරු වුණා. ඔයා හොඳට නිදි. එයා ආයෙත් එන්නේ නෑ…” මුළු ලෝකයම මගේ දෙපා මුල කඩා වැටුණාක් මෙන් මට දැනුණි.
ඉතා කෙටි කාලයක මිත්‍රත්වයක් වුව ද ඔහු අහිමි වීම මව පියා මළ කලෙක මෙන් මට දැනෙන්නට විය. මාගේ හදට වඩාත් සමීප වූ ඩේවිඩ්ගේ වියෝවෙන් උපන්, දරාගත නොහැකි දොම්නස් සිතුවිලි මසිත පුරා ඉපිද මැරි මැරී අතීතය කරා ගියේ ය. කිසිවක් සිතා ගත නොහැකිව නිරුදක කතරක අතරමං වූ බවක් මට දැනිණි.
දහවල් ඈන් කාමරයට පිවිසියාය. ඈ ඩේවිඩ්ගේ ඇඳ හා ඔහු පරිහරණය කළ දෑ ඉවත් කරන්නට වූවා ය. තවමත් මට ඇඳෙන් බසින්නට අවසර නැත. නමුත් මට ඩේවිඩ්ගේ ජනේලයෙන් එපිට පාර්ක් එකේ සිදුවන්නේ මොනවාදැයි දැනගන්නට වුවමනා ය.
මම ඈන් දෙසට හැරුනෙමි. එවේලෙහි ඈ ජනේල කවුළුව අසල ය.
“ඈන්.. ප්ලීස්.. පාර්ක් එකේ වෙන්නේ මොනවද කියල බලන්නකෝ…”
“පාර්ක් එක… මොන පාර්ක් එක ද?”
“ඇයි ඈන්.. හොඳට ඔය ජනේලයෙන් එළිය දිහා බලන්නකෝ.” ඈ මට කීකරුව ජනේලයෙන් එළිය දිහා බලා සිනාසෙමින්,
“එහා පැත්තේ ලොකු බිත්තියක්.. දිගට ම ලොකු බිල්ඩිං.. පාර්ක් එකක් නෑ.. ඔයාගේ දවල් හීන.. ”
“එතකොට ඩේවිඩ් කිව්වේ බොරුද?” මම ප්‍රශ්න කළෙමි.
“මොනවද ඩේවිඩ් ඔයාට කිව්වේ?” ඈන් පෙරළා මගෙන් විමසීය.
මම ඩේවිඩ් කී සියල්ල ඈ සමඟ කීවෙමි.
“එයා හරි හොඳ කෙනෙක්.. එයා ඔයා ගැන, ඔයාගේ සතුට ගැන ගොඩක් හිතුවා…”
මා දැන් බොහෝ සුවපත් ය. ඇඳෙන් බැස ඇවිදින්නට ද අවසර ලැබිණ. ඒ වහාම මා ගියේ ඩේවිඩ්ගේ ජනේලය ළඟට ය. මම ජනෙල් කවුළුවෙන් පිටත බැලුවෙමි. ඩේවිඩ්ගේ උද්‍යානයේ බංකු, ඔංචිල්ලා, පොකුණු ආදි සියල්ල හිස් ය.. මල් පර වෙලා ය. ඩේවිඩ් සමඟ දිනපතා එහි පැමිණියෝ ඔහු සමඟ ම මරණය කරා ගොස් සිටියහ. එහෙත් මා ස්පර්ශ කළ ඩේවිඩ්ගේ ඇසුර මා තුළ ජීවමාන ය.
ජීවිතය… මරණය… ආශාවන්… අපේක්ෂා භංගත්වය… ස්නේහය… මිත්‍රත්වය… සංසාරය ආදී ධර්මතා අතර පැටලුණු, කෙලෙස් බරින් නොමිඳුණු මගේ හිතට එකවරම බුද්ධ වචනයක් සිහිපත් විය.
“යථා දණ්ඩේන ගෝපාලෝ – ගාවෝ පාචේති ගෝචරං
ඒවං ජරා ච මච්චු ච – ආයුං පාචෙන්ති පාණිනං”
‘ගොපල්ලෙක් කෙවිටෙන් පහර දිදී ගවයින්ව ගොදුරු බිමට දක්කනවා වගේ, මේ ජරා – මරණ දෙකත් ඒ විදිහට ම සත්වයන්ගේ ආයුෂ අවසන් කරලා දානවා.’
ජරා – මරණ… ජරා – මරණ… යන වචන ද්වය මගේ චිත්ත අභ්‍යන්තරය තුළ අකුණු ගසන්නාක් මෙන් දෝංකාර දෙන්නට විය.
ඇඳුම් ආයිත්තම් වලින්තදබද වුණු ෂොපින් මෝල් එකේ දැනෙන්නේ ගම්බද පොළක දැනෙන ගතියක්.වායු සමීකරණ යන්ත්‍රවලට ඔරොත්තු නොදෙන ප්‍රමාණයක් ඒ සීමිත ඉඩකඩේ ගාල් වෙ
මගේ සොහොයුරකු වූ සෝමපාලගේ අසනීපය ගැන දැනගන්නට ලැබුණු වේලෙහි මා තුළ මහත් ශෝකයක් ඇති විය.
’’දරුවා නැති කරමු’’ නිහැඬියාව බිදුණි. ඕ හොල්මනක් දුටුවාක් මෙන් ඔහු වෙතින් පියවරක් ආපසු ගත්තාය.
සමන්ගී බලාගෙන හිටියේ තමන් ගේ මේසය උඩ තියෙන ක්‍රිස්ටල් මල් බඳුන දෙස .ඒක හිස්.අද විතරක් නෙවෙයි දැන් දින ගණනාවක ඉඳලම ඒක හිස්.තමන් සේවය කරන ප්‍රචාරක ආයතනයේ
සියල්ල සුබවාදී ලෙස සිතන්නටත්, පතන්නටත් හුරු පුරුදු වී සිටි මා කරා ව්‍යාධිය නම් වූ ධර්මතාව පැමිණියේ පෙර මට දන්වා නොවේ. මගේ දයාබර බිරිඳට හා දියණියට ද දන්ව
“ අමල් මට ඔයාගෙන් දරුවෙක් ඕනේ…” ඇගේ දෙතනේ හිස හොවාගෙන සිටිද්දීදී මට ඒ වදන් ඇසුණේ දුර ඈත ග්‍රහලෝකයකින් එන්නාක් මෙනි. ඒ කටහඬේ තිබුණේ ඉමහත් දායාර්ද්‍ර බව
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ඩේවිඩ්ගේ උයන
lionel Wednesday, 02 April 2025 12:19 PM
ජීවිතයේ යතාර්ථය ගැන විමර්ශනයක් වගේම කණගාටුදායක සිදුවීමක් ඇතුලත් වූ කතාවක්..ලස්සණයි
Abt Thursday, 03 April 2025 02:54 AM
මේක ප්‍රසිද්ධ කෙටිකතාවක නරක පිටපතක්. මේ වගේ කතා ලියන්න ලැජ්ජා වෙන්න ඕනේ. කතාව පරිවර්තනය කරලා තියෙන්න ඕනේ.