IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


සජබෙන් යනවාද?සජබෙට එනවාද ?

කලක් අරගල භූමියක්ව පැවැති ෂැන්ග්‍රිලා හරිත පරිශ්‍රය ඉකුත් සෙනසුරාදා සැණකෙළි භූමියක් බවට පත්වූවේය. ඒ ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක් එක්ව පැවැත්වූ “වසත් සිරිය” සිංහල අලු‍ත් අවුරුදු උත්සවය හේතුවෙනි. හෙළ සිරිතට මුල් තැන දෙමින් මෙම අවුරුදු උත්සවය පැවැත්විණි. මේ නිසා සාම්ප්‍රදායික ජන ක්‍රිඩා මෙන්ම ගමක අසිරිය සිරි ගැන්වෙන භූමියක් බවට ෂැන්ග්‍රිලා ග්‍රීන් භූමිය පත්ව තිබුණි.


අවුරුදු උත්සවයට සහභාගී වීම සඳහා විදෙස් තානාපතිවරු, මහකොමසාරිස්වරු මෙන්ම එහි කාර්ය මණ්ඩල සාමාජිකයෝ ද පැමිණ සිටියහ. ඇමරිකා එක්සත් ජනපදය, චීනය, ඉන්දියාව, තායිලන්තය, පාකිස්ථානය, නෙදර්ලන්තය, පලස්තීනය, බංග්ලාදේශය, කියුබාව, මියන්මාරය, කුවේට් රාජ්‍ය, දකුණු කොරියාව හා වියට්නාමය යන රටවල තානාපතිවරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.


ඔවුන් සියල්ලන්ම ජන ක්‍රිඩාවලට සහභාගී වූවේ දැඩි කැමැත්තෙනි. ජනපති රනිල් වික්‍රමසිංහ ද ෂැන්ග්‍රිලා අවුරුදු උත්සව භූමියට පැමිණ සැණකෙළිභූමියේ ඇවිදිමින් සාම්ප්‍රදායික අවුරුදු සිරිය විඳ ගත්තේය. ඔහු එක් අවස්ථාවක තානාපතිවරුන් කිහිප දෙනෙකු සමඟ ගොස් එහි ඉදිකර තිබූ ගැමි ගෙදර ගෙවිලිය පිසිමින් සිටි කැවුම් අතරින් කැවුම් ගෙඩියක් ගෙන අනුභව කළේ එහි සිටියවුන් සමඟ බෙදා හදා ගනිමිනි.


එක මොහාතක විදෙස් දූත මණ්ඩල අසලට ගිය ජනපති ඔවුන් ජන ක්‍රීඩාවල නිරතව සිටින ආකාරය දැකබලා ගත්තේ ය. ඒ අසලට ගිය ජනපති ඔවුන්ගෙන් මෙම අවුරුදු උත්සවය ගැන විමසද්දී ඔවුන් පිළිතුරු දුන්නේ “අපි ඉතාම කැමතියි මේ උත්සවයට” කියමිනි.


“සෑම මාසෙකම වාගේ අවුරුදු උත්සවයක් තියෙනවා නම් අපි කැමතියි. ඔබතුමා හොඳ වැඩක් කරලා තියෙන්නේ. අවුරුද්දකට කලින් මේක කඳවුරු බැඳගත්ත අරගල භූමියක්. හරියටම අවුරුද්දකට පස්සේ අද ජය කෙහෙළි නංවන සැණකෙලි භූමියක්.” තානාපතිවරු කියද්දී ජනපති හිස සලා සිනාසුනා මිස කිසිවක් කීවේ නැත.
විදෙස් දූත මණ්ඩල නිලධාරීන්ගේ තරග ඉසව්වලින් වැඩිම ත්‍යාග සංඛ්‍යාවක් දිනා ගත්තේ චීන තානාපති කාර්යාල නිලධාරීන්ය. කොට්ට පොර තරඟ ඉසව්ව නරඹා ජනපති ඉදිරියට පැමිණෙන විට එහි රැදී සිටි ජනමාධ්‍යවේදීන් ඔහුගේ ප්‍රකාශයක් ගැනීමට කැමරා මානගෙන ඉදිරියට පැමිණියේය. එකවරම ජනපති හැරුණේ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක වෙතය.


“ධනුෂ්ක මෙයාලට හොද ක්‍රිඩාවක් නැද්ද දෙන්න.” ජනපති විමසද්දී ධනුෂ්ක සිනා සෙමින් “නෑ සර්” යැයි පිළිතුරු බැන්දේය.
“ඇයි මෙයාලව කොට්ට පොර තරගයට දාන්න පුළුවන්නේ. මට ගහන්නේ නැතුව මෙයාලට එතකොට කොට්ට පොර ගහගන්න පුළුවන්නේ.” ජනපති කියද්දී සැමට සිනාව නතර කර ගත නොහැකිවිය. කතුරු ඔංචිල්ලාව අසලට ගිය ජනපති එහි සිටියවුන්ගෙන් එහි අලගිය මුලගිය තැන් විමසන්නට වූවේ ඕනෑ කමිනි.
අවුරුදු උත්සව භූමියට මැති ඇමැතිවරුන් ද පැමිණ සිටි අතර ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂක උපදේශක සාගල රත්නායක හා මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් කතුරු ඔංචිල්ලාව පදිද්දි පහළ සිටි ජනාධිපති ලේකම් සමන් ඒකනායක ද ඔවුන්ට විහිළුවක් කළේ අසල සිටි නිලධාරියෙකු සමඟය.
 “දැන් අපිට ආරක්ෂාව ගැන බය වෙන්න දෙයක් නෑ. ඔංචිල්ලාව උඩ යද්දී දෙන්නට මේ භූමියම පේනවා.” කියමිනි. 


ජනපති ඉරුදින මරදාන සුදුවැල්ලේ පැවැත්වූ බක්මහ උළෙලකට ද සහභාගී වූවේය. සදුදා රාමඤ්ඤ නිකායේ උපසම්පදා මහෝත්සවය ගැන සාකච්ඡාවක් පැවැතුණේ ජනපති ලේකම් කාර්යාලයේ දීය. ජනපති අඟහරුවාදා පෙරවරුවේ මාතර රාහුල විද්‍යාලයේ පැවැති සියවස් සමරු උළෙලට එක්වූ අතර එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටුවේ මුලසුන ගත්තේය.


මැයි දිනය හා පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් මෙහිදි දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබුණි. බදාදා පෙරවරුවේ ජනපති පාර්ලිමේන්තු සංකිර්ණය වෙත ගියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ගත් විස්තීරණ ණය පහසුකම පිළිබඳ විවාදය ඇරඹීමට පෙර පාර්ලිමේන්තුවට ඒ ගැන පැහැදිලි ප්‍රකාශයක් කිරීමටය.
ජනපති සිය කතාවෙන් පසු විපක්ෂ නායක සජිත්ගේ පැනයට පිළිතුරු දී පිටතට පැමිණෙද්දී ආණ්ඩු පක්ෂ ලොබියේදි මන්ත්‍රීවරු ඔහුව වට කර ගනිමින් විපක්ෂ නායකට කළ ඔච්චම ගැන විමසන්නට වූහ. “සර් විපක්ෂ නායකතුමාට කළ ඔච්චම අහලා විපක්ෂයේ හිටපු ස.ජ.බ මන්ත්‍රීවරුන්ටත් හිනා ගියා.” චාමර සම්පත් ඇමැතිවරයා කීවේ ද සිනාසෙමිනි.
“උසස් පෙළ පිළිතුරු පත්‍ර බලන්නේ ජනාධිපතිතුමා එක්ක සාකච්ඡා කිරීමෙන් පසුව කියලා විශ්ව විද්‍යාල ආචාර්යවරු කියනවා. ඇත්තටම මේක අත්‍යවශ්‍ය සේවයක් කරනවට මිනිස්සු නම් කැමතියි.” මධුර විතානගේ මන්ත්‍රීවරයා ද කතාවට එකතු වූවේය.
“ජනාධිපතිතුමා එක අවස්ථාවකදී මේ අය සමඟ කතා කළා. රටේ ඇත්ත තත්ත්වය කිව්වා. ඒක අහන්නේ නැතුව වර්ජනය කරලා දැන් සාකච්ඡා ඉල්ලනවා. දැන් මොනවා සාකච්ඡා කරන්නද” ඇමැති ප්‍රසන්න රණතුංග දැරුවේ එවැනි ස්ථාවරයකි.


“මේ රටේ ඕනෑම පුද්ගලයෙකුට ජනාධිපතිතුමා හමුවෙන්න අවස්ථාව ඉල්ලන්න පුළුවන්. හැබැයි ඒ අවස්ථාව දෙනවද නැද්ද කියලා තීරණය කරන්නේ එතුමාමයි.” වජිර ඇගට පතට නොදැනී කියද්දී ජනපති රනිල් හිස සලා සිනාසෙමින් පාර්ලිමේන්තුවේ සිය කාර්යාලය වෙත පිය නැගුවේය.
පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු පිරිසක් ඒ වන විටත් පාර්ලිමේන්තුවේ ජනපතිගේ කාර්යාලය වෙත පැමිණ සිටියහ. 


“ජී.එල් පීරිස් ඇතුළු කණ්ඩායම කියනවා අයි.එම්.එෆ් ගිවිසුමට හෙලිකොප්ටරය විරුද්ධයි කියලා.” මන්ත්‍රී සහන් කීවේය.
“ජී.එල් ඇතුළු කණ්ඩායම ඇමැතිකම්වල හිටපු ආණ්ඩුව තමයි අයි.එම්.එෆ් එකට මුලින්ම ගියේ. මම කරන්නේ ඔවුන් ගිය එක ඉස්සරහට අරගෙන ගිය එක විතරයි. එයාලා එදා අනුමත කරපු එකට අද කොහොමද විරුද්ධ වෙන්නේ.” ජනපති කීවේ පුදුමයෙනි.
“ජාතික ආණ්ඩුවක් හැදෙනවද?” ඒ පැනය යොමු වූවේ ජනපති පාර්ලිමේන්තු උපදේශක මහාචාර්ය ආශූ ගෙනි.
“මුළු ආණ්ඩුවම පාර්ලිමේන්තුවක් ලෙස කටයුතු කරමු කියලා තමයි මම කියන්නේ. ප්‍රතිපත්ති හදන්න, ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න, නීති හදනවා වගේම නීති ක්‍රියාත්මක කිරීමත් මෙතනින් සොයා බැලිය යුතුයි. ඒ නිසා තමයි ආණ්ඩු පක්ෂයටත් විපක්ෂයටත් එකට වැඩ කරන්න පුළුවන් ආංශික අධික්ෂණ කාරක සභා හැදුවේ.” ජනපති දුන්නේ දීර්ඝ පිළිතුරකි.


“ඔව් ජනාධිපතිතුමා කියන්නේ ජාතික ප්‍රතිපත්ති හැදීමේදි මුළු පාර්ලිමේන්තුවම එක කණ්ඩායමක් ලෙස වැඩ කරමු කියලායි. හැබැයි ආණ්ඩුව කරන යම් කටයුත්තක් වැරදි නම් ඊට විරුද්ධ වෙන්නත් පුළුවන් කියලා එතුමා කියනවා.” ඇමති බන්දුල ද කතාවට අලගු තැබීය.
එදින ජනපති මුණ ගැදීමට මැති ඇමතිවරු පිරිසක් මෙන්ම එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන් පිරිසක් ද පැමිණ සිටියෝය. එහිදි විමල් වීරවංශ අරගල ගැන පොතක් නිකුත් කිරීමත් එම පොත එළිදැක්වීමේ උත්සවයේදි කළ ප්‍රකාශයත් මෙහිදි සාකච්ඡාවට බදුන්විය.


“අරගලයේ උච්චතම දවස වෙච්ච ජුලි 09 දායින් පසුව හිටපු ජනාධිපති ඉල්ලා අස්වීමේ ලිපියක් ගැනත් එදා අගමැති වෙච්ච ඔබතුමා ඉවත් කිරීමේ ලිපියක් ආදී ලිපි දෙකක් කොළඹින් මාලදිවයිනට ගියා කියලා එයා කියනවා.” ඇමැති ශෙහාන් කීවේය.


“මේ කතාව ඇත්ත කියලා තමයි බොහෝ දෙනෙක් කියන්නේ.” මන්ත්‍රී දොලවත්ත ද කීවේ එවැන්නකි.
“ඇමරිකානු තානාපතිතුමිය එතුමිය ගැන කියපුවා බොරු කියලා තියෙනවා. ශවේන්ද්‍ර ගැන කියපුවා බොරු කියලා ආරක්ෂක අමාත්‍යාංශය කියනවා.” කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල ද කතාවට එකතුවූවේය.
“මමත් පොතක් අරගෙන කියවන්න ඕනෑ.” කීවා මිස ජනපති වෙන කිසිවක් කීවේ නැත.

 

ආණ්ඩුපක්ෂ රැස්වීමට ආ රිළවු ප්‍රශ්නය

මෙවර මැයි දිනය ඉහළින්  සමරන්නට දේශපාලන පක්ෂ හා සංවිධාන දැන් සිටම සූදානම් වෙමින් සිටී. කොවිඩ් වසංගතයත්, ආර්ථික අර්බුදයත් හේතුවෙන් ඉකුත් වසර දෙකේදී මැයි රැලි, පෙළපාළි පවත්වා සිය බලය පෙන්වන්නට දේශපාලන පක්ෂවලට අවස්ථාවක් නොවීය. මෙවර මැයි දිනය ඉහළින් සමරන්නට දේශපාලන පක්ෂ, සංවිධාන සහ වෘත්තීය සමිති සූදානමින් සිටින බව පැහැදිලිය.


 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කැම්බල් පිටියේද, එක්සත් ජාතික පක්ෂය සුගතදාස ක්‍රීඩාංගණයේද, සමගි ජන බලවේගය කොළඹදී ද, ජාතික ජන බලවේගය කොළඹ නගර සභාව ඉදිරිපිට දී ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය  හා නිදහස ජනතා සභාව මහනුවර දීත්  මැයි දින රැළි හා පෙළපාළි ඉහළින් පවත්වන්නට කටයුතු යොදා ඇත.
පාර්ලිමේන්තු සතිය නිසා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් සඳුදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය මුදල් ලබාගැනීමේ යෝජනාව පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේ දින තුනක් පැවැත්වෙන බැවින්, ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළේය. ජනපතිවරයා කීවේ මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක්ද  පැවැත්වෙන බව ය. එබැවින් මන්ත්‍රීවරුන් සියලු‍ දෙනාටම පාර්ලිමේන්තුවේ රැඳී සිටින්නැයි ජනාධිපතිවරයා ඉල්ලීමක් කළේය. “මේ වෙලාවේ අපට යන්න තියෙන එකම විකල්පය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විතරයි. ඊට වඩා හොඳ විකල්පයක්  තියෙනවා නම්  කියන්න කියලා මම දිගින් දිගටම පාර්ලිමේන්තුවේදී කිව්වා. කවුරුවත් ඒකට උත්තර දුන්නේ නෑ” යැයි ජනාධිපතිවරයා කීවේය


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාව ගැන සාකච්ඡා වන අතරවාරයේ දී ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා රිළා ප්‍රශ්නය මතු කළේය. ඔහු කීවේ, ‘මේ දවස්වල හොඳ මාතෘකාවක් සාකච්ඡා වෙනවා. රිළවු රට පටවන එක නවත්තන්න එපා. ඒක හොඳ වැඩක්’ යැයි  ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා  ජනාධිපතිවරයාට කීවේය. පොහොට්ටුවේ  පත්කළ මන්ත්‍රී ජනාධිපති නීතිඥ ජයන්ත වීරසේකර එම යෝජනාවට විරුද්ධ විය. ‘මම නම් ඒ කතාවට විරුද්ධයි. මේක හරි නරක වැඩක් . මම අපේ ගෙදරත්  රිළවෙක් හැදුවා. මේ යෝජනාව ආපු වෙලාවේ  ඉඳලා මටනං ඌ තමයි මතක් වෙන්නෙ. ජනාධිපති යෝජනාව නම් ක්‍රියාත්මක කරන්න එපා. මේ හදන්නේ චීනයට ගෙනිහින්  අපේ රිළවුන්ගේ මොළ ටික කන්න’ යැයි මන්ත්‍රීවරයා කීවේය.


කෘෂිකර්ම ඇමැතිවරයා ලෙස ඊට උත්තර දෙන්නට ගියේ මහින්ද අමරවීර ය. චීනයේ සත්තු වත්තවල් සියයක්  විතර තියනවා. මේ සත්තු ගෙනියන්නෙ  ඒවටය. එහෙම නැතුව මේ වෙලාවේ මොළකන්න නෙමෙයි . යයි අමරවීර කීවේය.


ආණ්ඩු පක්ෂ රැස්වීමේ වැඩි වෙලා ගත වුණේ මේ රිළා ප්‍රශ්නය ගැන කතාබහ කරන්නට ය.
පොහොට්ටුවේ ක්‍රියාකාරීන්ගේ හමුවක්  ජනක බණ්ඩාර තෙන්නකෝන් හිටපු  ඇමැතිවරයාගේ දඹුල්ලේ නිවසේ දී ඉකුත් සති අන්තයේ පැවැත්විණි. නාමල් රාජපක්ෂ, ඩී වීරසිංහ , සාගර කාරියවසම්, ජනක බණ්ඩාර තෙන්නකෝන් , ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද ඊට සහභාගි වූහ. රැස්ව සිටි පිරිස අමතමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කීවේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් කතා කරන්න මේ මොහොත කල් වැඩි බවය. ඒ නිසා පළාත් පාලන මැතිවරණය  ගැන උනන්දුවන්නැයි නාමල් කීවේය. පොහොට්ටුවේ ලේකම් සාගර කාරියවසම් මන්ත්‍රීවරයා පක්ෂයේ වැඩපිළිවෙළ ගැන පැහැදිලි කිරීමෙන් අනතුරුව ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් රාජ්‍ය ඇමැතිවරයා කතා කළේය. නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ද ඉදිරිපසින් තියාගෙන අපූරු කතාවක් කීවේය. මගේ අප්පච්චි අත්තගේ දේශපාලනය කරන්න ගියෙ නෑ. ඒක යුග දෙකක් . මම අප්පච්චිගෙ දේශපාලනය කරන්නේ නෑ. ඒක මේ  යුගයේ දේශපාලනය නෙමෙයි . මමත් අප්පච්චිත් වෙන වෙනම දේශපාලනය කරනවා. එකම කතාව කිය කිය මේ දේශපාලන ගමන යන්න බෑ. යල් පැන ගිය දේශපාලනය තවදුරටත් කරන්න බෑ. ප්‍රමිත කියද්දී එය  එහි සිටි බොහෝ දෙනකුට  ප්‍රහේලිකාවක් ම විය. ඔහු සිය කතාවේදී රාජපක්ෂවරුන් ගැන මෙන්ම පොහොට්ටුව ගැනද  සඳහන් නොකරන්නට  වග බලා ගත් බව ආරංචි මාර්ගවලින් වාර්තා වේ . රැස්වීමට සහභාගිවූ මැති ඇමතිවරුන් මෙන්ම පක්ෂ ක්‍රියාකාරීන් වෙනුවෙන්  දවල් ආහාරය සූදානම් කර තිබුණේ අරගලය දිනයේ  ගිනි තබා විනාශ කරන ලද සිය නිවසේ ම ය. නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වෙනත් රැස්වීමක් තියෙන බව කී වීරසිංහ මන්ත්‍රීවරයාද  සමඟ පිටව ගියේ දවල් කෑමත් නොගෙනය.


මේ අතර, පොහොට්ටුවේ කෝට්ටේ ආසන බල රැස්වීම ඉකුත් සතියේ පැවැත්විණි . ඊට ප්‍රසන්න  රණතුංග, නාමල් රාජපක්ෂ, සංජීව එදිරිමාන්න, ජයන්ත කැටගොඩ ඇතුළු මැති ඇමතිවරු  පිරිසක් සහභාගී වූහ. එය සංවිධානය කර තිබුණේ මධුර විතානගේ මන්ත්‍රීවරයා විසිනි . ප්‍රසන්න රණතුංග  පොහොට්ටුවේ වැඩකට  සහභාගි වී තිබුණේ කලකට පසුවය. ඔහු පක්ෂය ගැනත් පක්ෂයේ නායකයන් ගැනත් දීර්ඝ විග්‍රහයක් කරමින් කතා කළේය. අනතුරුව රැස්වීම අවසන් වී තේ බොන අතරේ එහි සිටි අයකු කීවේ අපි හිතුවේ ප්‍රසන්න ඇමතිතුමා ට්‍රැක් එක මාරු කරලා කියාය. ප්‍රසන්න දුන්නේ අපූරු පිළිතුරකි. මම ට්‍රැක් එක මාරු කළේ නැහැ. මම කියන්න තියෙන දේ කෙළින්ම කියනවා. ඒකෙන්  සමහරුන්  තරහ වෙන්න පුළුවන්. සමහරුන් යාළු වෙන්න පුළුවන්. නමුත් කියන්න තියෙන දේ කියනවා යැයි ප්‍රසන්න කීවේය  නාමල් රාජපක්ෂද කීවේ ප්‍රසන්න අයියා හැමදාමත් කියන්න තියෙන දේ කෙළින්ම කියනවා කියාය.


සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමේ සහ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් පසුගියදා පැවැත්විණි. වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කරනු ලැබීය.


විශේෂයෙන්ම මැයි රැළිය පවත්වන ආකාරය පිළිබඳවත්, ආණ්ඩුවේ මර්දනකාරි වැඩ පිළිවෙළ පිළිබඳවත් එහිදී මූලික වශයෙන් සාකච්ඡා කරනු ලැබීය.
“ආණ්ඩුව මෙච්චර රටේ ප්‍රශ්න තියෙද්දීත් කරන්නේ දේශපාලන කුමන්ත්‍රණ. එයාලගෙ ලොකුම හතුරා සමගි ජන බලවේගය. ඒකනෙ අපේ පක්ෂයෙන් එහෙට කට්ටිය යනවා කියලා ප්‍රචාරය කරන්නේ.”‍ එහෙම කිව්වේ සුජිත් සංජය පෙරේරා ය.


“මට මගේ මන්ත්‍රී කණ්ඩායම ගැන විශ්වාසයි. එහෙන් මෙහෙට එනවද මෙහෙන් එහෙට යනවද කියලා ඉස්සරහට බලාගමු”‍ සජිත් උත්තරයක් විදිහට දුන්නේ ඒක පමණි.
“ආණ්ඩුව මේ රට  මොන තරම් ප්‍රජාතන්ත්‍ර විරෝධී දුර්දාන්ත තැනකට ගෙනියනවා ද කියලා හොඳටම පේනවා. මම මගේ මන්ත්‍රී කණ්ඩායම විශ්වාස කරනවා. කාට හරි ආණ්ඩුවට යන්න ඕනැ නං යන්න. හැබැයි විශාල පිරිසක් එන්න ඉන්න බවත් අමතක කරන්න එපා”‍.
සජිත් ඒ කතාව කීවේ සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී ය.


“සමහරු කියලා මම තද තීන්දු  ගන්නෙ නෑ කියලා. මම ඒකාධිපතියෙක් නෙමේ. සමගි ජන බලවේගය වෙන දේශපාලන පක්ෂ වාගේ එහෙයියො හදාගෙන ඉන්න පක්ෂයකුත් නෙවෙයි. හැබැයි තීන්දුව ගන්න ඕනැ වෙලාවට මම තීන්දු හරියට ගන්නවා.”‍ සජිත් එහෙමත් කීවේය.
“මේ වගේ දුර්දාන්ත ආණ්ඩුවකට එකතු වෙනවා නම් එකතු වෙන්නේ ඔළුවේ අමාරුකාරයෝ. මං හිතන්නේ නෑ එහෙම අය අපේ පක්ෂයේ ඉන්නවා කියලා”‍  එහෙම කිව්වේ තිස්ස අත්තනායක ය.


“සමහරුන්ට ගොඩක් වයසට යනකොට එක එක ඔළුවේ අමාරු ඇති වෙනවා. එතකොට සමහර විට ඔය මොකක් හරි, ආණ්ඩුවට යන්න ඕනැ එකතු වෙන්න ඕනැ වගේ කතාවක් කියන්න පුළුවන්.”‍  තුෂාර ඉඳුනිල් එහෙම කීවේය.


“මේ දූෂිත-ජනතාව ප්‍රතික්ෂේප කරපු ආණ්ඩුවකට අපි යන්නේ නෑ! ඒක ස්ථිරයි! ජාතික ආණ්ඩුවක් කියලා හොරු එක්ක හදන්න යන ආණ්ඩුවක අපි හිටගන්නේ නෑ! අපෙත් සමහර අය දැන් කියනවා යනවා කියලා! අපේ ගාව ඉන්න හොරු ටික ආණ්ඩුවට ‌ගියාට කමක් නෑ!”‍ පක්ෂ සභාපති සරත් ෆොන්සේකා එහෙම   කීවේ ය.
“අපෙන් එහෙට යනවා කියලා බොරු ප්‍රචාරය කරන ගමන් ආණ්ඩුව කරන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වළපල්ලට දක්වන පනත් සම්මත කරන එක. ඒ නිසා කරුණාකරලා ආණ්ඩුවේ මේ ඩබල් ගේම්වලට අහු වෙන්න එපා”‍ සජිත් කෘත්‍යාධිකාරී මණ්ඩලය හමුවේ කීවේය.
ඒ අතර සජිත් කෘත්‍යාධිකාරී මණ්ඩලය සමඟ එක්ව තවත් තීන්දුවක් ගත්තේය. ඒ, සමගි ජන බලවේගයේ විනය කමිටුව ජනාධිපති නීතීඥ උපුල් ජයසූරිය යටතට පත් කිරීමය.
මින් ඉදිරියට කිසිදු මන්ත්‍රීවරයකුට පක්ෂ මතයට පිටින් අදහස් ප්‍රකාශ කළ නොහැකි බවත්, එවැනි ප්‍රකාශ සිදුකරන පුද්ගලයන්ට එරෙහිව තරාතිරම නොබලා විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් විපක්ෂනායකවරයා දැනුම් දුන්නේය.


ආණ්ඩුවේ ක්‍රියාවලිය ඒ විදිහට සිදුවෙමින් තිබෙද්දී විපක්ෂ නායක සජිත් සද්ද නැතුව සිය කණ්ඩායම සමඟ අලුත් වැඩපිළිවෙළක් දියත් කරමින් සිටියේය. ඒ අන් කිසිවක් නොව විපක්ෂයේ පක්ෂ දැවැන්ත  බලවේගයකට ගොනු කිරීමේ වැඩපිළිවෙළ ය.


සිය පක්ෂයේ ප්‍රධානීන් සමඟ සජිත් මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළේය. ඒ සාකච්ඡාවලට රංජිත් මද්දුමබණ්ඩාර, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, තිස්ස අත්තනායක, ගයන්ත කරුණාතිලක, ඉම්තියාස් බාකීර් මාකර් ඇතුළු පිරිසක් නිරන්තරයෙන් සහභාගි වූහ.


“ආණ්ඩුව මේ ගහන ඩබල් ගේම් එක අපි තේරුම් ගන්න ඕනැ. බලන්න ප්‍රතිත්‍රස්ත පනත ගැන මහනායක හාමුදුරුවෝ පවා නිවේදනයක් නිකුත් කරලා තියනවා. විපක්ෂය එකට එකතු කරපු දැවැන්ත බලවේගයක් නිර්මාණය කරන්න ඕනැ කියලා මං කල්පනා කළා.”‍ සජිත් කීවේය.
“ඩලස්ලගෙ කණ්ඩායම මහා නායක හාමුදුරුවන් වහන්සේලා බැහැ දැකලා ප්‍රතිත්‍රස්ත පනත ගැන දැනුවත් කළා. ඒක ඉතාම හොඳ වැඩක්.”‍ මහ ලේකම් රංජිත් කීවේය.
“විපක්ෂයේ ගොඩක් අය මාත් එක්ක කතා කරනවා. ජාතිවාදී නොවන, දූෂිතයෝ නොවන අය එක්ක අපි එකට එකතු වෙමු. ඩලස්ලගෙ කණ්ඩායම එක්කත් කතා කරමු”‍ සජිත් කීවේය.


“පොහොට්ටුවේ මන්ත්‍රීවරු වගයක් ඔබතුමා එක්ක සාකච්ඡා කළා කියලා නිවුස් එකක් ගිහින් තිබුණා”‍ ගයන්ත කරුණාතිලක ඇසුවේය.
“කීප දෙනෙක් කතා කළා. තවත් කීප දෙනෙක් මුණ ගැහෙන්න වෙලාවක් ඉල්ලු‍වා. හැබැයි, සමහරුන්ට නම් මම වෙලාවක් දුන්නේ නැහැ. වෙලාවත් දෙන්නෙත් නෑ”‍. සජිත් එහෙම කියන විට පිරිස මුහුණෙන් මුහුණ බලා ගත්හ.


“දූෂිත, දේශපාලන පිළිල කීපයකුත් මුණගැහෙන්න වෙලාවක් ඉල්ලු‍වා. මොනම හේතුවකටවත් එහෙම අය අපි ගන්නේ නෑ. නමුත් මෙරට ගොඩනඟන්න ඕනැ කියලා විශ්වාස කරන, හොඳ පිරිස් එක්ක අපි අත්වැල් බැඳගමු”‍ සජිත්ගේ කතාව සියලු‍ දෙනාම අනුමත කළහ.
ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරන  ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතුවලට එරෙහිව දැවැන්ත බලවේගයක් ලෙස එක්ව කටයුතු කිරීම උදෙසා විපක්ෂයේ කණ්ඩායම්වලට ආරාධනා කරන ලෙස සජිත් රංජිත්ට උපදෙස් දුන්නේය.


ඒ අනුව වර්තමානයේ උද්ගතව ඇති දේශපාලනික, ආර්ථික හා සමාජයීය ප්‍රශ්න හමුවේ ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරනු ලබන අත්තනෝමතික, වැඩපිළිවෙළට එරෙහිව  විපක්ෂයේ සියලු‍ දේශපාලන පක්ෂ එකට එක්වී පොදු වැඩපිළිවෙලක් සැකසීම සඳහා සමගි ජනබලවේගය ප්‍රමුඛ විපක්ෂයේ කණ්ඩායම් රැසක් පාර්ලිමේන්තුවේ දී එක්විය. ඒ විපක්ෂ නායක සජිත්ගේ ප්‍රධානත්වයෙනි.


“අපි ඔබතුමන්ලාට කතා කළේ ආණ්ඩුව ගෙනියන මේ දුර්දාන්ත වැඩපිළිවෙළට විරුද්ධව එකට එකතුවෙලා වැඩ කරමු කියන ආරාධනාව කරන්න. මේ බැන්ද පිළිවෙල වඩාත් ශක්ති සම්පන්නව අපි ඉදිරියට ගෙන යමු”‍ සජිත් මුලපිරුවේ එහෙමය.


ආණ්ඩුව විසින් ගෙන ඒමට නියමිත ප්‍රතිත්‍රස්ත පනත ඇතුළු පනත් බොහොමයක් මේ රටේ මානව හිමිකම් ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කරන බවත් එබැවින් ඒවට එරෙහිව ගත හැකි සියලු‍ ක්‍රියාමාර්ග විපක්ෂය එක්ව ගත යුතු බවත් සජිත්  අවධාරණය කළේය.


“ඔව් ආණ්ඩුව උත්සාහ කරන්නේ බරපතළ ව්‍යසනයකට රට තල්ලු‍ කරන්න. විශේෂයෙන්ම මේ ත්‍රස්ත විරෝධී පනත වගේ පනත් හරහා ආණ්ඩුව ඒක බොහොම අපූරුවට කරමින් ඉන්නවා. අපි මහා නායක ස්වාමීන් වහන්සේලා පවා දැනුවත් කළා.”‍ ඩලස් අලහප්පෙරුම එහෙම කීවේය.
“අපි දැක්කා. ඊට පස්සේ මහා නායක හාමුදුරුවන් වහන්සේලා නිවේදනයක් පවා නිකුත් කරලා තිබුණා.”‍ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල එහෙම කීවේය.
PTA සහ ATA වෙනුවට විකල්ප වැඩපිළිවෙළක් සකස් කළයුතු බව එහිදී සජිත් පැවසූ අතර, ඊට මහාචාර්ය ජී එල් පීරිස්, රවුෆ් හකීම්, මනෝ ගනේෂන්, ලක්ෂ්මන් කිරිඇල්ල, ඉම්තියාස් බාකීර් මාකර්, චන්දිම වීරක්කොඩි, නාලක ගොඩහේවා, උදය ගම්මන්පිල, වීරසුමන වීරසිංහ, ගජේන්ද්‍ර පොන්නම්බලම්, දයාසිරි ජයසේකර, ගෙවිදු කුමාරතුංග, ඇතුළුව මන්ත්‍රීවරු කණ්ඩායමක් ඒ සඳහා සුදුසු ලෙස පත්තර ගන්නා ලෙසද ඉල්ලා සිටියේය.


නෛතික, ජාතික, සමාජයීය, ජාත්‍යන්තර යන සිව් ආකාරයෙන් මේ තත්ත්වය පිළිබඳව ක්‍රියාමාර්ග කටයුතු බව ඩලස් අලහප්පෙරුම පැවසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිබදව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන යෝජනාව, ප්‍රතිත්‍රස්ත පනත පිළිබඳව එම හමුවේදි මූලික අවධානයක් යොමු වූ අතර පනත පරාජය කිරීමට විපක්ෂයේ සියලු‍ පක්ෂ සමග එක්ව කටයුතු කරන බවට සියලු‍ දෙනාම එක්විය යුතුබව දයාසිරි ජයසේකර පැවසීය.


ප්‍රතිත්‍රස්ත පනත ක්‍රියාත්මක කළහොත් ජාත්‍යන්තර වශයෙන් බලවත් අනතුරක් ඇතිවිය හැකි බවත් යුරෝපා කොමිසම පවා මේ තීරණාත්මක මොහොතේ එරෙහිවනු ඇති බවත් මහාචාර්ය ජී. එල්. පීරිස් පැවසීය.


මේ පනත් කෙටුම්පත් කරන්නේ නීති පති දෙපාර්තමේන්තුව ට වඩා පෞද්ගලික නීතිඥවරුන් විසින් යයි එහිදී ලක්ෂ්මන් කිරිඇල්ල  පැවසීය.
ප්‍රතිත්‍රස්ත පනත ජනාධිපතිවරයා නීත්‍යානුකූල ඒකාධිපතියකු බවට පත් වීම උදෙසා උත්සාහ කිරීමක ප්‍රතිඵලයක් යැයි මනෝ ගනේෂන්  එහිදී පැවසීය. මෙම පනතට විරෝධය දැක්වීමේ දී නිශ්චිත කාල රාමුවක් සකස් කර ගැනීම අතිශය වැදගත් බව එහිදී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්  පැවසීය.


ආංශික කාරක සභා රැස්වන අවස්ථාවේදී මේ පනත පිළිබඳව බලපෑම් සහගත සාකච්ඡාවක් සිදු කළ යුතු බව එහිදී රවුෆ් හකීම් පැවසීය.
මේ පනතට විරෝධය දැක්විය යුත්තේ ත්‍රස්ත විරෝධී පනත රදවා ගැනීමට නොව මේ පනත් දෙකම අහෝසි කොට දියුණු රටවල ක්‍රියාත්මක වන පරිදි ත්‍රස්ත විරෝධී පනතක් ක්‍රියාත්මක කරලීමට විය යුතු බව චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයා පැවසීය.


“විපක්ෂය හැටියට මේක ඉතාම සාධනීය තත්ත්වයක්. විශේෂයෙන්ම අපේ රට වෙනුවෙන් එකට එකතු වෙලා කරන්න පුළුවන් හැම වැඩක්ම කරමු. ජාත්‍යන්තරය සමග ගනුදෙනු නොකර, ළිං මැඩි සංකල්පය තුළ හිඳිමින් රටකට පෙරට යන්න බෑ. අප කළයුත්තේ ජාත්‍යන්තරය සමග සංවාදශීලී වැඩපිළිවෙළක් හරහා හොදම දේ දිනාගැනීම”‍ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එහිදී පැවසීය.

 

 

රට විකුණන පාලනය පරදවමු

ජාතික ජන බලවේගයේ මැයි රැළිය හෙට කොළඹ නගර සභා පිටියේදී පැවැත්වීමට ඉකුත් සතියේ එම පක්ෂයේ විධායක මණ්ඩලය තීරණය කළේය. ‘රට විකුණන-ජන පීඩක දූෂිත පාලනය පරදවමු-ජනතාවාදී පාලනයක් ගොඩනගමු’ යන තේමාව මත මැයි රැළිය පැවැත්වීමට සංවිධානය කර ඇත. හෙට දහවල් 2.00ට තිඹිරිගස්යායේ බී.ආර්.සී. ක්‍රීඩාංගණයෙන් පෙළපාළිය ආරම්භ කිරීමටත් පස්වරුවේ නගර සභා පිටියේදී මැයි රැළිය පැවැත්වීමටත් තීරණය කරනු ලැබුවේය.


වෙනදා මෙන් මෙවරත් මැයි පෙළපාළිය වර්ණවත් හා උද්‍යෝගිමත් ලෙස පැවැත්වීමටද තීරණය කරනු ලැබුවේය.


ත්‍රස්ත විරෝධී පනතට එරෙහිව සකස් කරන ලද පත්‍රිකාවක් කොළඹ හා අවට රාජ්‍ය ආයතනවල බෙදාහැරීම ගිය බදාදා සිදු කරනු ලැබූ අතර කොටුව, බත්තරමුල්ල, නාරාහේන්පිට ඇතුළු ප්‍රදේශ ගණනාවක පිහිටි රාජ්‍ය ආයතනවල මෙම පත්‍රිකා බෙදාහැරියේය.


මීට අමතරව ප්‍රතිත්‍රස්ත පනතේ හානිය පිළිබඳව සියලු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමටද ගිය සතියේදී තීරණය කළේය. ඒ සඳහා සියලු මන්ත්‍රීවරුනට මැයි 2 වැනි දින සිට පත්‍රිකාවක් ලබාදීමට පියවර ගෙන ඇත.


ලබන 3  වැනිදා එක්සත් ජාතින්ගේ සංවිධානය හා ලෝක කම්කරු සංවිධානය මේ පිළිබඳව දැනුවත් කිරීමටද ගිය සතියේදී තීරණය කළේය. 
මීට අමතරව වෘත්තිය සමිති මධ්‍යස්ථානයේ මූලිකත්වයෙන් ලබන 17 වැනිදා සිට දිස්ත්‍රික්ක මට්ටමින් සම්මන්ත්‍රණ පැවැත්වීමටද තීරණය කළේය. ඒ අනුව 17 වැනිදා අනුරාධපුරයේද, 25 වැනිදා මාතරද 31 වැනිදා රත්නපුරයේදී සම්මන්ත්‍රණ පැවැත්වීමට සැලසුම් කර ඇත.

 

ගජබා

 



අදහස් (0)

සජබෙන් යනවාද?සජබෙට එනවාද ?

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 184 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 414 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 241 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 248 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 334 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1730 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site